2019/09/12

ආදරෙන් පාටකල ලස්සනම හීනවල
බැඳෙනකොට දූවිලි, පාසි
හූල්ලන කෝච්චියෙ ගෙදර යනවට වඩා
කොළඹ මැද තනි වෙන්න ලේසි

ගඟක් විදියට ගලා යනකොට
හොඳ උනත් බිම තෙමෙන්න

හුඟක් ලස්සන වතුර ඇල්ලක්
බිම වැටෙද්දියි රිදෙන්න

ඉතින් නුඹ මට වතුර ඇල්ලක්
වුණේ බල බල විදින්න

ඒත් දැන් හිත වතුර ඇල්ලෙන්
බිමට පැනලා මැරෙන්න

මේ දුක

මගෙ ඇතුලෙ

වැඩිල

වැඩිල

වැඩිල

පිළිකාවක් වගේ...

ඒක හොයාගන්නකොට

මං මැරිල!

නුඹ කියන්නේ ගැන ඉතා දරුණු තරු අනතුරු
පොඩිපට්ටම් මූණු, පැළුණු තොල්වල විසිතුරු
අතින්ම පදම් කර සෑදූ ශෝකයක වෙව්ලන පිළිතුරු
දම් පැහැ තැළුම්, වියළි ලේ, කඳුළු හා සුමිතුරු


ඉන්පසුව එළැඹියේ,
අමුතු හීන පේන, අමුතු දවස්

දරාගන්නට අපහසු
උදේට වහින, ඉර පායන හවස්

පාර දෙපැත්තෙ හංගාපු
සුළඟටවත් සැලෙන්නැති රහස්

තෙමුණු තෙත සපත්තු
ගිම්හාන ඍතුවකට දුරස්

බෝම ඈතින් ඇසට පෙනුනත් කනට නොඇසෙන ගීත පාවෙයි
පාට රැව්දෙන කළුවරේ අමු තිත්ත සුවඳක මතක යාවෙයි
දෝංකාරය නොනැවතී හැමදාම වගෙ හෙට උදෙත් රෑ වෙයි
නම නොදන්නා තාරකාවක සීත රසයක කඳුළු ගෑවෙයි

අඳුරු මුල්ලක ගුලිව වෙව්ලයි
කඳුළු නොහලයි හිතවත
දුක හඬනු ඉකිගසනු නොඇසෙයි
වහා ඇවිලෙයි හදවත
සිතින් මියැදෙනු බැරිව ඉවසයි
මිටින් සඟවයි නෙත රත
හුදකලාවට හුරුයි නිහඬයි
තවත් නොහඬයි වෙණ තත