2013/11/08

දිලිසෙන පුංචි තරු වලට,
නිදහසේ නිල් අහසට,
හෙමින් වැළපෙන සයුරට,
ඈත ඉඳන් පෙම්  හිතට
නුඹේ තරු ඇස් වලට,
නුඹේ නිදහස් මුදු හිතට,
හීන් දුකක් රැදි හිනාවට,
ඈත ඉඳන් පෙම් කරනු බැරි මොකද...?

2013/10/22

උමතු පෙම

නුඹට එපා බව
දැන දැන
නුඹටම සිත් පුරන
තව තව...
උමතු පෙම...

2013/08/08

නුඹේ,
පුදුමාකාර ගැඹුරු බැල්ම
ආදරණීය සියුම් ඉරියව්
මට නොඅමතන හඬ
අමතක වෙන්නේ නෑ මට

කවදාවත්ම

නුඹේ
ඇස්වල නැති නපුරුකමට
නොබිඳෙන නිහඬකමට
නොසන්සුන් ගමනට
සමාව දෙන්නේ නෑ මම
කවදාවත්ම

නුඹේ
ලොකු දුඹුරු ඇස් දෙකට
අසාමාන්‍ය හුදෙකලාවට
අහිංසක හිනාවට
ආදරේ කරනව මම
හැමදාමත්ම

නුඹේ
නොදැමෙන ගල් හිතට
පිපාසිත අරමුණු වලට
දුෂ්ට ආත්මාර්ථකාමීකමට
වෛර කරනව මම
හැමදාමත්ම

2013/08/02

ආපහු පලයන්!

එකෙක්ට මදි වූ
තවකෙක්ට කෙල වූ
මනින්නට සිදු වූ
මට එපා වූ
කාලය...
ආපු විදියටම ආපහු පලයන්...!

2013/07/25

අකුරු...

ලියා මකා,
කපා කොටා,
පද බඳින,
තවමත්
හිතට හදට නොදැනෙන,
අකුරු...

2013/06/25

හොරෙන් ගැන්නෙමි...

හොරෙන් ගැන්නෙමි නුඹ සැලූ
නෙතු පියන් වාර ගණන...
හොරෙන් ගැන්නෙමි නුඹ හෙලූ
හද සුසුම් වාර ගණන...
හොරෙන් ගැන්නෙමි නුඹ තැබූ
පාද පියවර වාර ගණන...
නුඹත් නොදන්න,
නුඹ සැලූ,
නුඹ හෙලූ,
නුඹ තැබූ,
නෙතු පියන්,
හද සුසුම්,
පාද පියවර,
ගණන් පවසමි
නුඹ අසයි නම්.....

2013/01/19

මං

පුංචිම කාලේ ඉඳලා
මං හුදෙකලාවට කැමතියි
ඒ කවුරුත් මට කරදර කරනවට
මං කැමති නැති හින්ද

පංති කාමරේ කෙටි බිත්තියෙන්
පිට්ටනියට උඩින් පේන
නිල් අහස දිහා මං බලන් ඉන්නේ
වළාකුළු මගේ කඳුළු ඈතට අරන් යන හින්ද

අඳුරෙ ඉඳගෙන රෑ එළිය කරන
තරු දිහා මං බලන් ඉන්නේ
කාටවත්ම මගේ ඇස්
ඇස නොගැටෙන හින්ද

ළඟට වඩා දුර යාළුකමට මං කැමති
අනිත් අයට මාව දැනෙන්න පුළුවන් හින්ද
පුංචිම දේටත් මගේ හිත රිදෙන්නේ
ආදරේ බලාපොරොත්තු වෙන හින්ද

හැමතිස්සෙම හිනා වෙන්නේ
අඬන්න බැරි හින්ද