2014/11/24

රැලි

නැගෙන මුත් උසට
බිඳී යන යළි
රැගෙන යන පතුලට
සෝදාන වැලි
විටෙක කඳුළැලි ද
ගෙනෙන හසරැලි
නුඹ මගේ හිත්
සමුදුරේ රැලි

2014/11/19

පාට

දම් පාට
කළු පාට
රතු පාට
සුදු පාට
අළු පාට
ඕනෙ පාටකට
දාන්න වැඩිපුර
කළු පාට,
සුදු පාට හෝ
අළු පාට.
එහෙමයි මං ආස.
තදම තද
දම් පාට...
ඒ උනත්
කළු පාට,
සුදු පාට හෝ
අළු පාට
දැම්මම වැඩිපුර
රතු පාට
නොවෙයි ලා හෝ
තදම තද රතු පාට,
එක්කො ඒ ලේ පාට
නැත්නම් ඇගේ
දෙතොලේ පාට...

2014/11/18

හරි පුදුම ඉස්කෝලෙ

හරි පුදුම ඉස්කෝලෙ ළමයින් එකසිය හතලිස් දෙකකි. ගුරුවරුන් විසි අටකි. බිල්ඩින් පහකි. හරි පුදුම ඉස්කෝලෙ පොඩි එකකි. ඉස්සර නම් එහි ගුරුවරු විසි නමයක් සිටිය නමුත් ලොකු සර් ඔක්තෝබර් මාසයේදී විශ්‍රාම ගිය නිසා දැන් ඉන්නේ විසි අටකි. නමුත් පාසලක වැදගත්ම පිරිස ගුරුවරු නොව ළමයින් ය.
හරි පුදුම ඉස්කෝලෙ ප්‍රාථමික අංශයේ ළමයි තිස්පහක් පමණ සිටිති. ආනන්ද කසුන් පළමු ශ්‍රේණියේය. කසුන් හුරතල් බෝල පොඩ්ඩෙකි. තප්පරයක් නිකම් සිටීමට බැරි දඟකාරයෙකි. ලොකු සර් සිටින කාලයේ ඔහු කෙලින්ම ලොකු සර් හමුවීමට ගොස් මේ පාසල දෙමල පාසලක් කරන්නැයි කියා සිටියේය! එසේ කියන්නට හේතුව පාසලේ බොහෝ දෙනා මුස්ලිම් ජාතිකයින් වීමත් ඔවුන් දෙමළෙන් කතා කිරීමත් ය. කසුන්ගේ වැඩ ඔන්න ඔහොමය! කසුන්ගේ අම්මාත් තාත්තාත් දෙදෙනාම පිටරටය. පාසල් ඇරුණු පසු ඔහු ගෙදර රැගෙන යාමට ඔහුගේ අවුරුදු විස්සක් වූ බාප්පා පැමිණේ. කසුන් තම බාප්පා පිටුපස අඩක් ඇවිදිමින් අඩක් දුවමින් ගෙදර යයි.
මගේ හිතවත් මිත්‍ර එරන්දගේම මූණ ඇති හිරාස් සිටින්නේ හතරේ පංතියේය. ඔහු මුස්ලිම්ය. හුරතල්ය. දඟය. මේ එරන්ද පැටියා හැමවිටම බාල්දි පෙරලා ගත්තේය. එකොළහ වසරේ කොල්ලන්ගෙන් ගුටි කෑවේය. ගුරුවරුන්ගෙන් ගුටි කෑවේය. තාත්තාගෙන් ගුටි කෑවේය. පහ වසරේ සිටි හිරාස්ගේ අයියා හිරාස්ගෙන් ගුටි කෑවේය. හිරාස්ගේ පියා ත්‍රීරෝද රථ රියැදුරෙකි. අඩුපාඩුවක් නැතිව පිරිසිදුව ඔවුන් පාසලට එවීමට ඔහු වගබලා ගනී.
පහේ පංතියේ සිටින කෙහාන් ඉතාම ලස්සන කොල්ලෙකි. කෙහාන්ගේ මූණේ හුරතලේය. දෑසේ මනමාලකමය. කටේ කුණුහරුපය! ඔහු දක්ෂ විචක්ෂණශීලී කොලු පැටියෙකි. දෙමාපියන්ගේ ඇල්මැරුණු සැලකිල්ල නොවේ නම් ඔහු හොඳ තැනකට එන්නට හොඳටම ඉඩ තිබේ. සිය මුඩුක්කු ජීවිතයෙන් ගොඩ ඒමට ඔහුට නැත්තේ පිනදැයි මම නොදනිමි.
හයේ පන්තියේ සිටින රිෆ්කාන් ෂෝ අපූරු කොලු පැංචෙකි. තමාට ෂෝ යනුවෙන් අමතනවාට ඔහු කැමති නැත. "මේ මැඩම් මේ මට ෂෝ ෂෝ ගාන්න එපා හරී!?" ඔහු පවසයි. ඔහු ඇද පැද සිංහල කතා කරන හුරතල් ආකාරයට මම ඇළුම් කරමි.
එස්තර්ද සිටින්නේ හයේ පංතියේය. මොනයම් හෝ හේතුවක් මත මට එස්තර් කෙරේ මහත් අනුකම්පාවක් උපදී. එස්තර් ගේ දෙමාපියන් නැත. ඈ පාසලට පැමිණෙන්නේ කන්‍යා සොයුරියන් පිරිසක් පවත්වාගෙන යනු ලබන ළමා නිවාසයක සිටය. ඇතැම් දවසක උදෑසන ඈ බඩගිනි යැයි පවසා හඬයි. ඇතැම් දවසක ගවුමේ ඉරුණු තැනක පිටතටද පෙනෙන ලෙස කටුවක් ගසාගෙන එයි. ඒ හැමදේටම වඩා ඇගේ කඩිසර කෙට්ටු දෑත් මට දුක්බරය.
සාරාද හය වසරේය. ඇගේද දෙමාපියන් පිටරටය. ඈ සිටින්නේ ඇගේ නැන්දා කෙනෙකු ළඟය. ඔවුන් මේ කෙල්ල දෙස බලන්නේ පාර අයිනේ සිටින බලු පැටියෙකු ගානට බව පැහැදිලිය. අඩුම ගානෙ ඇගේ මේස් දෙකවත් සෝදා නැත! සාරා ඉතාමත් ලස්සනය. මම නැවතත් පවසමි. ඉතාමත් ලස්සනය. ඈ රෝස පොහොට්ටුවක් වැනිය. ඈ එතරම් ලස්සන වූයේ වාසනාවටද අවාසනාවටදැයි නොදනිමි. යාන්තම් ඇටෙන් පොත්තෙන් එළියට එන විටම මේ කෙල්ල මොකෙක් හෝ කැරපොත්තෙක් සමඟ පැටලෙනු ඇත. අවාසනාවය.
හතේ පන්තිය නම්, එපාම එපා කරපු එකකි. හතේ පංතියේ පුංචි කසීර් ගැන කලින් ලීවෙමි. හතේ පංතියේ සිටින මා දුටු අනෙක් විශේෂම කොලු පැටියා මහේෂ් ගෞතමය. මහේෂ් සින්දුවක් කියනු මා ඇසූ පළමු අවස්ථාවේදී මම ගල්භූත වීමි. එය පුදුමාකාර කටහඬකි! මගේ දෑස් තෙත්විය. මට ඔහු බදා වැළඳගන්නට තරම් සිතිණි. ඒ තරම් අද්විතීය කටහඬක්, ගායන හැකියාවක් මේ පැංචා සතුය. ඒ හැකියාවෙන් නිසි ඵල ලබා ඉහලට යන්නට ඔහුට හැකිවේවිද? නැතිනම් දුප්පත්කම, අසරණකම ඒ හැකියාව ඔහු තුළම මිහිදන් කරාවිද? මට දුකය...
නමයේ පංතියේ අකුරු කියවීමට ලිවීමට නොදත් ළමයින් දෙදෙනෙකු සිටිති. එකෙක් මවට අවුරුදු දාහතේදී, පියාට අවුරුදු දහනමයේදී මෙලොව එළිය දැක, නොසලකා හරිනු ලැබ සිටියදී ළමා නිවාසයේ පියතුමන් රැගෙන විත් හදාගන්නා රසුන් ය. ඔහු එපා කරපු නරකම නරක ළමයෙකි. ඔහු මා දෙස බලන්නේ පවා වල්ම වල් බැල්මකිනි. අනෙක් කොළුගැටයා හේෂාන් ය. මට හේෂාන් ගැන පුදුම තරම් දුකය. ඔහු ඉතා හොඳ ළමයෙක් වීම පළමු කාරණයය. දෙවැන්න නම්, ඔහුට ගුවන් නියමුවෙකු වීමට ඕනෑ වී තිබීමය. වයස දාහතරක් වන, අකුරු ලිවීමට නොදත් මේ කොලුගැටයා පුස්තකාලයට වී ගුවන්සර සඟරාවක් පෙරලාගෙන ගුවන් නියමුවෙකු වීමට හීන දකියි! ඔහුගේ හීනය ඉටු කරවීමට හැකි නම් මට වෙන මොන මඟුලක්වත් ඕනෑ නැත!
මේ හරි පුදුම ඉස්කෝලේ ළමයින් ටික දෙනෙක් විතරය. උන් එකසිය හතලිස් දෙදෙනාටම වෙන්වූ වෙනස්, අනන්‍ය, බොහෝවිට දුක්බර කතාවක් ඇත. මට උන් ගැන දුකය. මගේ ළමා ලෝකයේ ගිලිහී ගිය තැන් මට නැවත විවර කර දෙන මේ පොඩි උන් ටිකට, මං ආදරේය...

2014/11/01

සුභ උපන්දිනයක්!

ආදරණීය අනූෂි, අවුරුදු තුනක් යනු දිගු කාලයක්ද කුඩා කාලයක්ද යන්න නිර්ණය කිරීමට මට නොතේරේ. මතකය පුදුමාකාරය. ඇතැම් විට අද ඊයේ මෙන් හැඟේ. ඇතැම් විට ජීවිත කාලයක් තරම් ඈතය. ඇතැම් විට ඔබ හදවතට සමීපය. ඇතැම් විට බොහෝ ඈතය. සිත දුකින් බරවේ.
ආදරණීය අනූෂි, ඔබ නික්ම ගිය විගස එළැඹි කාලයේදී ඔබේ රුව සිත්හි මවාගැනීම මට දුෂ්කර විය. ඔබේ මුහුණ අමතක වී යනු ඇතැයි මම බිය වීමි. නමුත් ඇතැම් රාත්‍රීන් වල නින්දට යන විටත්, ඇතැම් උදෑසනයන්හි අවදි වන විටත්, රවුම් කණ්ණාඩි පැළඳි සිනාවෙන් එලිය වූ ඔබේ පිරුණු මුහුණ මට සිහිපත් වේ.
ආදරණීය අනූෂි, බොහෝ කාලයක් ගෙවී ගිය පසු කවදා හෝ මට ඔබ මුණගැසේවි යැයි මට සිතේ. දෙනෝදහක් දෙනා ගැවසෙන මුත් පාළුවෙන් පිරී ගිය වීදියක මා ඇවිද යන විට, ඔබ මොහොතක් සිනාසී මා පසුකර ඇදෙනු ඇත. ආපසු හැරී බැලුවත් මට ඔබ සොයාගැනීමට මට නොහැකි වනු ඇත. පෙර සිදු වූ ලෙසම.
ආදරණීය අනූෂි, මට අද ඔබ දකින්නට ලැබුණා නම්, ඔබට අවුරුදු දහනවයකි. මා සිතේ ඇඳී ඇති ඔබේ රුවට වඩා ඔබ උස් වී, කෙට්ටු වී, දිගු කොණ්ඩයක් ඇතිව සිටිනු ඇතැයි මට සිතේ. එනමුත් ඔබ රවුම් කණ්ණාඩි පැළඳ, හිස පසෙකට ඇල කොට සුපුරුදු සිනාවම නඟනු ඇත.
ආදරණීය අනූෂි, ඔබට සුභ උපන්දිනයක්!

2014/10/21

හීන

පාර මැද ඉඳගෙන
නිල් අහස බලාගෙන
රත්තරන් ඉර ළඟට යන්න
මං අතාරින,
පාර දෙපැත්තේ
ගස් වල අතුවල
වැදිලා කැරකිලා
ආපහු බිමට එන,
මගේ හීන...

2014/10/15

නුඹ නිසා නුඹ නැතිව...

නුඹ නිසා
නුඹ නැතිව
පෙමක් ඉපැදින
නුඹ නිසා
නුඹ නැතිව
හදක් මැලවින
නුඹ නිසා
නුඹ නැතිව
එපෙම මියැදින
නුඹ නිසා
නුඹ නැතිව
මෙතුන සිදුවින
නැති නිසා
නුඹ එතැන
කිසිත් නොදැනින
ඒ නිසා
නුඹ කොතැන
අද මා කොතැන...

2014/10/11


නුඹ නිසා ඉපිද
නුඹම නිසා මියෙන
පෙම් හැඟුම්
සේම
නුඹ ගෙනැත් දී
නුඹම රැගෙන යන
කවි සිතුම්.......


2014/10/08


හදවත සිහිල් කර

ගලාගිය

නුඹ මගේ

කවි කඳුර

.....

2014/09/30

උන්නත් මං මළත් මං

උන්නත් මං
මළත් මං
දන්නැති මං
උන්නද උඹ
මළාද උඹ
දන්නවා මං

උන්නද උඹ
මළාද උඹ
දන්නවා උඹ
උන්නත් මං
මළත් මං
දන්නෑ උඹ

දන්නා බව
දන්නැති බව
දන්නෑ උඹ

නොදන්න කං
උඹ ගැන නං
දන්නව මං

2014/09/19

මගේ කවිය


අහස, පොළව, ජීවය
ලෝකය නිර්මාණය කරනවා.
මගේ අහස
මගේ පොළව
මගේ ජීවය
මගේ සුදු අම්මා...
ආලෝකය, ආදරය, හීන
ලෝකයට අවශ්‍ය කරනවා.
මගේ ආලෝකය
මගේ ආදරය
මගේ හීනය
මගේ සුදු අම්මා...
හුස්ම, හදවත්, බලාපොරොත්තු
ලෝකය ජීවත් කරවනවා.
මගේ හුස්ම
මගේ හදවත
මගේ බලාපොරොත්තුව
මගේ සුදු අම්මා...
මල්, තරු, කවි
ලෝකය ලස්සන කරනවා.
මගේ මල
මගේ තරුව
මගේ කවිය
මගේ සුදු අම්මා....... 

2014/09/13

කඳුළක්

සපාගෙන දත්
මොළවා මිට දෑත්
පිට පනින්නට වෙර ගත්
කඳුළක් වේය සිර කරගත්

2014/09/10

කමක් නැත නොදෙඩුවත් වදනෙක
නොගැටුනත් නෙතින් නෙත එකිනෙක
කල්පෙකට ඇති කලක් මොහොතක
හමුවෙයන් නුඹ ආයෙ දවසක... 

2014/09/04


ඉන්දන්නට හැකි වුණත් නුඹට
උදුරන්නට නොහැකි
මසිත ලියලා වැඩෙන
ප්‍රේමය...

2014/09/02


නිහඬ රාත්‍රියේ
හඬන නෙතු අද්දර
කවිකාර හීනය
නුඹ....... 

2014/08/28

දළඹුවා

නුඹත් දළඹුවෙක්. මමත් දළඹුවෙක්. නුඹයි මමයි දෙන්නම, ගස් වල කොල කමින් නිදැල්ලේ හිටි කාලයක් තිබුණා. නුඹ හොඳ කීකරු දළඹුවෙක්. වෙලාව ආවම නුඹ කෝෂයක් හදාගෙන ඒක ඇතුළට වෙලා සමනලයෙක් වෙන්න වැඩ කෙරුවා. මම මුරණ්ඩු දළඹුවෙක්. කෝෂයක් හදාගෙන සමනලයෙක් වෙන්න කලින් මට තව තවත් ලෝකය දකින්න ඕනෙ වුණා. සමනලයෙක් වුණාම, ඉගිලෙන්න පියාපත් ලැබිලා වඩාත් හොඳින් ලෝකය දකින්න පුළුවන් බව මං තේරුම් ගන්නකොට, නුඹට පියාපත් ලැබෙන්න ලඟයි. මං කෝෂයක් හදාගෙන, කාලේ ගතවෙලා, සමනලයෙක් වෙලා එද්දි, නුඹ පියාපත් ලබලා හුඟාක් දුර ඉගිලිලා ගිහින් තියේවි...


නුඹේ ඉකිබිඳුම් හඬින්,
‍රාත්‍රිය අවදි විය.
අන්ධකාරය ලෝකය වෙලා ගති...

2014/08/21

නුඹ බොහෝ දුර ගිහින්

හෙමින් කැරකෙන ඔරලෝසු කටු
වේගයෙන් දිවයමින් තිබුණා

පැරණි වී යන මාවතේ දස
දහස් ගණනින් දෙපා ගැටුණා


හිරු පවා විදුලියක වේගෙන්
අවරගිර වෙත යමින් දැවුණා

දූලි පිසගෙන හමන සුළඟේ
උසැති තුරු හිස් නැමී සැලුණා

ඇසිල්ලකදී නුඹේ නෙතු යුග
මගේ නෙතු යුග සමඟ ගැටුණා

යන්තමින් සිනාසී හිස නවා නුඹ
මාව පසුකර පෙරට ඇදුණා

නුඹේ දෑසේ සිනහවේ රැදි
හුරුපුරුදු බව හිතට දැනුණා

පුදුමයෙන් මා හැරී බැලුවිට
නුඹ බොහෝ දුර ගිහින් තිබුණා...


2014/08/06

ද බක බක කවිය

අවුට් සයිඩ් මයි වින්ඩෝ
දෙයා ආ ෆ්‍රොග්ස්
දෙක දෙක
ඉන් ද සයිලන්ට් නයිට්
දේ ආ සිගින්
බක බක
ලයින් ඔන් ද බෙඩ්
පාස්ට් මෙමරීස්
මක මක
රයිට් නව් අයි ජස්ට්
ෆීල් ලයික්
හැක හැක

2014/08/03

අසම්මත සම්මත

අයෙක් නොපෙනෙන දෙනුවන්
හිරුට පෙම් බැඳි විලසින්,
අයෙක් නොඇසෙන දෙසවන්
හඬට පෙම් බැඳි විලසින්,


පෙමක් ඉපැදුණු විගසින්

අසම්මත වෙද සම්මත නොවූ පමණින්...?


2014/07/26

සර්

2012 ජනවාරි 17 physics class පටන් ගත්තා. මං ආසාවෙන්ම ගියපු class එක. වෙන මොනවත් හින්ද නෙමෙයි. සර් හින්ද. සර් හරිම අවංක සරල කෙනෙක්. සර් කියන දේවල් වලට මට සති මාස ගණං හිනා යනවා. සර් කවදාවත් අනවශ්‍ය විහිලු කලේ නැහැ. මං ජීවිතේදි අගය කරන බොහොම ටික දෙනාගෙන් කෙනෙක් තමා සර්. Class ඉවර වුනේ 5.30ට. හැමෝම ගෙවල් වලට ගියාම මාව එක්ක යන්න කෙනෙක් එනකල් හැමදාම මට ටිකක් වෙලා ඉන්න වුණා. මේ වෙලාව මට බෝනස් එකක්. ඇයි කාටවත් නොපෙනී මගේ කවි පොතේ ලියන්න හොඳම වෙලාවනෙ. "දක්ෂිණා එක්ක යන්න එනකං ඉන්න ආ" කියලා සර් දොර වහගෙන ගේ ඇතුලට ගියාම මං සර්ගෙ ගැරේජ් කෑල්ලේ ඉඳගෙන මං ලියපු කවි පොතේ කුරුටු ගානවා. එක දවසක්, මට හොඳටම විශ්වාසයි මං පොත බෑග් එකට දාගත්තා. ඒත් ගෙදර ගිහින් බලනකොට පොත නෑ! ඊළඟ දවසේ class ගියාම, මට සර්ගේ මූණ බලන්න බෑ. මං ඒක දාලා ගියානම් සර් අනිවාර්යෙන්ම දකින්න ඇති. දැක්කා නම් අනිවාර්යෙන්ම කියවන්න ඇති. ඒ වෙද්දි මගේ පොත මං ඇරෙන්න වෙන කෙනෙක් දැකලා තිබුණේ නෑ. බොහොම අමාරුවෙන් කටහඬ හොයාගෙනයි මං ඒ ගැන සර්ගෙන් ඇහුවේ. සර් මොකුත් නොකියා ගේ ඇතුලට ගිහින් පොත ගෙනාවා. ගෙනල්ලා පොත අතේ තියාගෙනම, "මං දැනගත්තා මේක කාට හරි වටින එකක් තමා කියලා. මං අරන් තියාගත්තා ඉතින්. මං කියෙව්වේ නෑ උඩින් පල්ලෙන් බැලුවා හැබැයි. ඒ වුණාට මං මෙහෙම වැඩ වලට ආසයි. ඔයා දෙනව නම් මං ආසයි කියවන්න." ඒක කියවලා මිසක් ආපහු දෙන්න සර්ගෙ අදහසක් නැති බව මට තේරුණා. ඉතින් මං ඇඹරිලා ඇඹරිලා "හා සර් එහෙනම් තුන්වෙනි එක ඇර අනිත් ටික කියවලා දෙන්න." කිව්වා. සර්ට ලොකු හිනාවක් ගියා. "හරි. අඩුගානෙ කියවන්න එපා කිව්වේ ඇයි කියලවත් මං අහන්නේ නෑ" එදාවත්, කවදාවත් සර් තුන්වෙනි කවිය කියෙව්වේ නෑ. මට විශ්වාසයි. එදා ඉඳන් සති දෙක තුනකට සැරයක් සර් උගන්නන ගමන් අහනවා, "දක්ෂිණ අධිවේගී කවි ලිව්වද?" ඉතිං මං ඇඹරෙනවා. "ලිව්වේ නැද්ද?" "ලිව්වා සර්" මං කියන්නේ ඇහෙන නෑහෙන ගානට. "මට පෙන්නන්නේ නැද්ද?" සර් මගේ පළමු රසිකයා වුණේ එහෙමයි.
කාලේ ගතවෙලා යනවත් එක්ක සිද්ධ වුණු විවිධ දේවල් හරහා මට සර් ගැනත්, සර්ට මං ගැනත් විස්තර දැනගන්න ලැබුණා. දවසක් සර් සර්ගෙ චූටි දෝනිව වඩාගෙන හුරතල් කරනවා මං බලන් ඉන්නවා සර් දැක්කම ලොකු වේදනාවක් සර්ගෙ මූණෙ ඇදිලා ගියා. මං ඉදිරියේ එහෙම කරපු එක ගැන සර් පසුතැවෙන්න ඇති. එදා එහෙම බලන් හිටපු එක ගැන මමත් අදත් පසුතැවෙනවා.
අදින් class ඉවරයි. මං සර්ට වැඳලා ගෙදර ආවා. ඒත් මගේ හිත බරයි. මට සර්ට මොකක් හරි දෙන්න ඕනෙ. ඒක කවියක් වෙන්නමත් ඕනෙ. ඒත් මොනවා ලියන්නද කියලා මට තේරෙන්නෙ නෑ. ජීවිතේ පළවෙනි වතාවට අකුරු කරන්න බැරි දුකකින් මගෙ පපුව හිරවෙලා. සර් එදා වඩාගෙන හුරතල් කලේ මාව නෙමෙයිද, සර් මගෙ තාත්තා නෙමෙයිද කියලා හිතුණා...

2014/07/25

"ඩයනා"

"Somewhere beyond right and wrong
there is a garden,
I will meet you there..."
"වැරැද්ද සහ නිවැරැද්දට ඔබ්බෙන්
උද්‍යානයක් තිබේ.
මම එතැනදී ඔබ හමුවන්නෙමි..."

2014/07/24

මාව
අහන්ට
දකින්ට
බැරි නං
අඩුගානේ
බැරිද නුඹට
මරන්ට...?

2014/07/23

තාම මෙතනයි...

අඳුරු මේකුළු 
සෙමෙන් වියැකී
ළහිරු රැල්ලක්
වැටෙන සිරියෙන්
නුඹ හැරී ආයෙත්
නොබැලුවා නම්...
නුඹ ගියත්
අව් රැල්ල මැකුනත්
සිහින් වැහිපොද
ආයේ වැටුනත්
තාම මෙතනයි
මං, මාව තෙමුණත්...

2014/07/20

නෙත් ඉම සරන
සිත් මල සිඹින
ගත් හද තුඩින
මත් බිඟු බමන
දෙත් පෙම් සිහින
ලත් සැප නසන
මුත් ලඟ රැඳෙන
නැත් පල ලබන

2014/07/01

මගේ තම්බි ලෝකය

මගේ තම්බි ලෝකය ඇරඹෙන්නේ තුවාන් රුෂ්ඩි හනන් ගෙනි. ඔහු මට හමුවන්නේ සා.පෙ සිංහල පන්තියේදීය. ඔහු පන්තියේ සිටි ලස්සනම කොල්ලා විය. හනන් බොහෝ දුරට මං වාගේම පාලනයෙන් තොර චරිතයක් වු අතර මට මෙන්ම ඔහුටද තදින් ඇදුම තිබිණි. ඔහු මිත්‍රශීලී ආදරණීය චරිතයකි. සා.පෙළින් පසු මට ඔහු මඟහැරුණු අතර. ඊට අවුරුද්දකට පසු ඔහු පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙස මව්බිම පුවත්පතට දී තිබූ සම්මුඛ සාකච්ඡාවක් හැරුණු විට මේ වනතෙක්ම මට ඔහු හමුවූයේ එකම එක වතාවක් මාකට් එක අසල බස් හොල්ට් එකේදී පමණි. කුඩයකුත් වනමින් පැමිණි ඔහු විනාඩි බාගයක් සිනාසෙමින් කතා කරමින් හිඳ යන්නට ගියේය.
මගේ දෙවෙනි තම්බියාගේ නම මට මතක නැත. මට එය කවදාවත් මතක තිබ්බේද නැත. බොහෝ උස, බොහෝ දිගැති කොණ්ඩයක් තිබූ, ඉතා ලස්සන දැරියක් වූ ඈ සොඳුරු සිනා නගමින්, ගොරෝසු හඬින් කැඩුණු සිංහල කතා කරමින් මා අසල හිඳගෙන මගෙන් ගණන් කොපි කල මගේ සුන්දර මිතුරියයි.
මගේ තුන්වන තම්බියා මගේම සොයුරිය ෆාතිමා අක්කියාය. ඈත් මාත් පාසල් ගියේ එකම වෑන් රියෙනි. ඈත් මාත් ජීවිතය දකින්නේ එකම දැක්මකිනි. ඈත් මාත් බැඳී ඇත්තේ ආත්මීය බැඳීම්කිනි. මං වාගේම හිතන කෙනෙක් මට මුණගැසුනේ ජීවිතයේ පළමු වතාවටය. ඈ මගේ සොයුරිය, මිතුරිය විය. ෆාති අක්කියා ගැන කියන්නට ගියොත් මට ජීවිත කාලයක් ලියන්නට දේවල් ඇත. ඒ නිසා මම ඈව බොහෝ අගය කරන බවත්, මම ඈට බොහෝ ආදරේ බවත් පමණක් පවසා නවතින්නෙමි. ඇගේ මෑණියන්ද මා බොහෝ අගය කරන මා ජීවිතේ දුටු ශක්තිමත්ම හදවත හිමි තැනැත්තියයි.
මගේ ඊළඟ තම්බියා zaithun ය. Zai මගේ ජීවිතයට විශාලම බලපෑම කල තම්බිච්චිය. ඈ ඉතාම කුඩා, සිහින්, සුදුමැලි ඉහේ සිට පොරවාගත් අබායාව නිසා වඩාත් දුර්වලව පෙනෙන, බොහෝ ශක්තිමත් ආදරයක් හදවතේ තබාගෙන සිටින තැනැත්තියකි. ආදරය ගැන මාතුල වූ ප්‍රසන්න නොවූ හැඟීම් සියල්ල පලවා හැරි, හැම දුකක්ම බෙදාගත්, හැමදේටම ළඟින් සිටි මගේ හොඳම මිතුරිය මගේ zaiyaය.
ඊළඟ තම්බියා ඉතා මෑතකදි මුණගැසුණු අම්මා සමඟ එකට වැඩ කරන සාහිරා අක්කායි. පුදුමාකාර ලෙස අහිංසක වන ඇය පුදුමාකාර tube light එකක්ද වේ. නමුත් ඈ අවංක, අව්‍යාජ, දයාබර චරිතයකි.
මේ මගේ තම්බි ලෝකයයි. හෙට එයට තවත් තම්බීන් එක් වනු ඇත. ඔවුන් මගේ හදවතට සමීප වනු ඇත. ඔබට ඔවුන් බලු තම්බින් ය. පර හම්බයින් ය. කරුණාකර මගේ තම්බි ලෝකය විනාශ නොකරන්න. මට ඔවුන් මිනිසුන් ය.

2014/06/29

වෙඩි තියාපන්


නුඹේ දිලිසෙන
තියුණු ඇස් කෙළවරින්
ඇන සිදුරු කර
ඉරා හදවත හෙමින්
ටිකෙන් ටික මා
මරණු වෙනුවට
වෙඩි තියාපන්
මගේ ඔළුවට
නුඹේ ගල් හිත්
උණ්ඩයෙන්

2014/06/28

මගේ සෙනෙහස තාම නුඹටයි...

තරු පිරී තිබුණත්
දස දහස් ගණනින්
බටහිර අහස
තාම එළියයි...
කවුරු ආවත් ගියත්
මගේ හිත් අහසින්
මගේ සෙනෙහස
තාම නුඹටයි....... 

2014/06/25

You are
A minute
Of quiet

In a Loud
Shouting
World

නුඹ
නිහඬ වූ
නිමේෂයකි

හඬින් කෑගසා
වැළපෙන
ලොවෙහි

2014/06/17

ඔබ දන්නවද...?

ඔබ දන්නවද ලෝකෙ රවුම් කියලා?
ලෝකේ ටෙනිස් බෝලයක් එහෙමත් නැත්නම් දොඩම් ගෙඩියක් වගේ රවුම්. ඒ කියන්නේ ඔබ එක තැනකින් පටන්ගෙන හරි කෙලින් රේඛාවක් දිගේ ඇවිදන් ගියොත්, ඔබට ආයෙම මුල් තැනට එන්න පුළුවනි. ඔබ පොළව හාරගෙන හාරගෙන ඇතුලට ගියොත් ඔබට ලෝකේ අනිත් පැත්තෙන් මතු වෙන්න පුළුවනි. ලෝකේ රවුම් කියලා හොයාගත්තේ කොළොම්බස්. ඒ කිව්වේ මේ කොළඹ දුවන බස් නෙමෙයි. කොළොම්බස් කියන පුද්ගලයා.
ලෝකය රවුම් කියන්නේ අපි කවුරුත් එකම තලයක නැහැ කියන එක. එක එක්කෙනා ඉන්නේ විවිධ තලවල. (සඳළුතල, දර්ශනතල, etc.) ඒ කියන්නේ අපි හැම කෙනා අතරම සාපේක්ශ කෝණයක් තියෙනවා කියන එකයි. ඔබයි මමයි අතර නම් විකලා 0.00000001ක් විතර. ඔබ ඇන්ටාර්ටිකාවේ හිටියනම් අංශක 90ක් විතර. ඒ අතර ඉන්න බිලියන ගානක් දෙනා ඉන්නේ ඔබට සාපේක්ශව සුළු කෝණයක් සාදමින්. හැබැයි ඔබයි මමයි හැමෝම ඉන්නේ මේ රවුම් ලෝකෙට සාපෙක්ශව එකම කෝණයක. හරියටම කිව්වොත් ලම්බකව. අංශක 90කින්.
දැන් ඔබ හිතන්න පටන් ගනීවි. ලෝකේ රවුම් නම්, හැමකෙනෙක්ම ඉන්නේ ඊට ලම්බකව නම් ලොකේ උඩම කොටසේ ඉන්න අය ඇරෙන්න අනිත් හැමෝම අභ්‍යාවකාශයට හැලෙන්න ඕන බව කියමින් ඔබ මාත් එක්ක තර්ක කරාවි.
ඔව් ඇත්ත. නමුත් එහෙම වෙලා නෑ නේද? එහෙම නොවෙන්නේ ආකර්ෂණ බල නිසයි. (ආකර්ෂණ බල කියන්නේ ඇදගැනීම, කැමැත්ත, ආදරය, ප්‍රේමය, ශෘංගාරය etc.)
මේ බලය හොයාගත්තේ නිව්ටන්. ඔහු තුල තිබුණා ඇපල් වලට පුදුමාකාර ආදරයක්. බැඳීමක්. ආකර්ශණයක්. ඔහු තේරුම් ගත්තා මේ රවුම් වූ ලෝකය තුලත්, සෑම මනුශ්‍යයෙක් කෙරෙහිම ඒ වගේ විශාල ආකර්ෂණ බලයක් තියෙනවා කියලා. මේ හේතුව නිසා කිසිම කෙනෙක් කවදාවත් ලෝකය දෙසටම මිසක් අභ්‍යාවකාශයට වැටෙන්නේ නැති බව ඔහු හොයාගත්තා.
බලන්න ලෝකය හැදිලා තියෙන ලස්සන! එකෙනෙකාට සාපේක්ෂව විවිධ තල වල සිටින, විවිධ කෝණ වල ඉඳගෙන රවුම් ලෝකය දිහා බලන හැම කෙනෙක් ගැනම මේ රවුම් ලෝකය තුල ඇති ආදරය ඔබට තේරුම් ගත හැකිද?
නමුත් ඔබ දන්නවාද නිව්ටන් සොයාගත් තවත් දෙයක්? ඔහු සොයා ගත්තා ආකර්ෂණ බලයක් කියන්නේ අන්‍යෝන්‍ය බලයක් බව. ඒ කියන්නේ ලෝකයෙන් නොහැලී ඉන්න නම්, ඔබත් ලෝකයට ආදරේ කල යුතුයි. 
රවුම් වූ ලෝකය, I love you!

2014/06/15

වතුර...!

වතුර...!
මට ඕනෑ වතුර.
නුඹටත් ඕනෑ වතුර.
හැමෝම හොයන්නේ වතුර.
ජීවිතේ ජීවත් කරවන වතුර.
මං නුඹට දන් දුන් වතුර.
මට කිසිවෙක් නොදුන් වතුර.
හුස්ම හිරකර මරණයේ දොර අරින යතුර.
වතුර.......!
බලා ඔක්කොම ලොවේ විස්තර
ගොඩගසා ගත් මතක ඉස්සර
සීරුවෙන් හිත් අගින් අස්කර
හලා පොළවට සිතැඟි එක්කර
වැස්සකින් මැවු මියුරු සත්සර
නුඹත් අහසක් වගෙයි ගැබ්බර

2014/06/13

නුඹේ නෙතු යුග

ගිනි දැවෙන මද්දහන් මැද,

දෂ්ඨ කරන සුළු

තද සීත කුණාටු


මා වටා මවන,



නුඹේ නෙතු යුග...!

2014/06/02

නතර වෙයිද මම මෙතනම?

ගතවෙන හැම තත්පරේම
සන්සුන් නැති දෑසින් නුඹ
හෙව්වා මම
දවසක් දෙකක් නුඹ නාවම
ඒකත් හොඳයි අමතක වෙයි
හිතුවා මම
නුඹ අමතක වෙයි හිතුවත්
නුඹ ඒයැයි හිතට හොරෙන්
හිතුවා මම
කවදාවත් නුඹ නාවම
දුක හිතිලා මට හොඳටම
ඇඬුවා මම
හැමදාමත් නතර වෙයිද
අමතක නොවුනු නුඹ හින්දම
මම මෙතනම?

2014/05/28

මැරියං!

උඹ මැරියං ජීවිතය!
උඹේ වරද...
උඹ මැරියං,
තවත් නොතලා හදවත.
බිඳෙන්න ඉඩක් නෑ තව
උඹ ඉරා මස් කල මේ හිත
මැරියං කියා උඹ සාප කල
තාමත් හුස්ම වැටෙන...
උඹට මරන්න බෑ හිත.
ජීවිතය උඹ මැරියං!
හෙට.......

2014/05/24

කතාව

නුඹට පෙම් බැඳි
කඳුළු දුක් විඳි
නුඹ දැකපු නැති
මගේ කතාව
මං හිටපු නැති
පෙම් බැඳපු නැති
සිනහ වත රැඳි
නුඹේ කතාව
එකතුවුන් නැති
යළිත් එන්නැති
ඉවරවුන් නැති
අපේ කතාව
ඇරඹුමක් නැති
තේරුමක් නැති
මට නුඹව නැති
සැබෑ කතාව

2014/05/12

මං අහසක්

ඉරට පිස්සු කිව්වට, ඇත්තටම පිස්සු ඉරට නෙමෙයි. අහසට.
කාලෙකට නැතිවෙන්න පායනවා. කාලෙකට බැඳගෙන වහිනවා. තවත් දවසක් කළුම කළු වලාකුළු පුරෝගෙන ඉඳලා, පැයක් යන්න කලින් ඒ සේරම හතර අතට විසිකරල දාලා හිරු රැස් විහිදන්න ගන්නවා. බලාපොරොත්තු සුන් කරල දානවා. විශ්වාසය නැති කරල දානවා.
අහස මොන දේ කලත්, පොළව ඉවසනවා. දියවෙලා යනකං වැස්සත්, කරකුට්ටං වෙනකං පෑව්වත්, පොළව සද්ද නැතුව හැමදේම ඉවසනවා.
මට පොළවක් වෙන්න බෑ. මට පිස්සු. මං අහසක්. පොළවක් නැති, අහසක්...

2014/05/01

නුඹ හින්ද

දෙතොල් අතර නිතර රැදුණු
හිනාව, නැති කරගත්තේ නුඹ හින්ද...
ඈතට ඈතට යන්න හිතුණු දවසක,
අඩියක්වත් නොහෙල්ලී හිටියෙ නුඹ හින්ද...
පුංචි පුංචි වචන අමුණලා ලිවු කවි,
ඉරලා ගුලි කරලා විසිකලේ නුඹ හින්ද...
ගඟක් වගේ ගලාගිය ජීවිතේ,
මඟ නතර කරගත්තේ නුඹ හින්ද...
ඔව්... මාව ගණනකටවත් නොගත්තු, නුඹ හින්ද!

2014/04/20

ගමන

හුස්ම
උඩ පාත
හෙලන බව
දැනෙන
ජීවිතයට වඩා
මරණයට
ළඟ බව
කියන
ආදරණීය
මිනිසුන්
සොයා යන
ගමන

2014/04/01

ලේ

මම නුඹ මරා දමමි!
මා අත තැවරෙන ලේ,
නුඹේ නොවන වග,
මගේම වන වග
මම දනිමි!

2014/03/30

ආයේ දවසක

මගේ දෙතොලඟ
හිනාවක් රන්දන
නුඹේ ඔය හිනැහෙන
ඇස් දෙක
දකින්න එන්නම්
ආයේ දවසක...

2014/03/18

ලොකු දුඹුරු ඇස් දෙක

හැමෝම ලොකු අවුලක පැටලිලා
මොකද්දෝ තේරුමක් නැති දෙයක් පස්සේ පන්නනවා...
පාඩම්, පොත්, විභාග, ඉන්ටනෙට්, ෆේස්බුක් සේරම පවතින්නේ නැති බොරුවක් කියල දැනුනම,
හැමදාම වගේ තරු දිහා බලල හිත හදාගන්න කියල එලියට බැස්සා,
ඒත් තරු පේන්න නෑ...
අහසත් තේරුමක් නැති වළාකුළු වලින් වැහිලා...
ආපහු එන්න හැරෙනකොට,
අත්තක් අස්සෙන් වළාකුලකින් එබිලා,
පුංචි තරු දෙකක් මට හිනා වුණා...
එකපාරටම, මොකද්දෝ දුකකුත් එක්ක, නුඹේ ලොකු දුඹුරු පාට ඇස් දෙක, මට මතක් වුණා...
හෙමිහිට හුළඟ හමලා, වළාකුලකින් තරු වහල,
පුංචි පොද වැස්සකින් මගේ කම්මුල තෙමනව වගේ,
සීතල කඳුළු කැට දෙකක්, හෙමිහිට ගලාගෙන ගිහින්, පුංචි තරු කැට දෙකක් කඩා වැටෙනවා වගේ, දෙපාමුලටම වැටුණා...

2014/03/17

ඉරට පිස්සු!


නුඹේ ලොකු ඇස්


පුංචි කරලා


කඳුළු පුරවන්න


ඉරට පිස්සු!

2014/03/07

බිඳී සුන් වී
ඉරි තැලී ගිය...
දිවියේ වැළපෙන
දුක්බරම කවියේ...
තාලය කියා දෙන්නට...
හෙටත් එනවද...?