2014/07/26

සර්

2012 ජනවාරි 17 physics class පටන් ගත්තා. මං ආසාවෙන්ම ගියපු class එක. වෙන මොනවත් හින්ද නෙමෙයි. සර් හින්ද. සර් හරිම අවංක සරල කෙනෙක්. සර් කියන දේවල් වලට මට සති මාස ගණං හිනා යනවා. සර් කවදාවත් අනවශ්‍ය විහිලු කලේ නැහැ. මං ජීවිතේදි අගය කරන බොහොම ටික දෙනාගෙන් කෙනෙක් තමා සර්. Class ඉවර වුනේ 5.30ට. හැමෝම ගෙවල් වලට ගියාම මාව එක්ක යන්න කෙනෙක් එනකල් හැමදාම මට ටිකක් වෙලා ඉන්න වුණා. මේ වෙලාව මට බෝනස් එකක්. ඇයි කාටවත් නොපෙනී මගේ කවි පොතේ ලියන්න හොඳම වෙලාවනෙ. "දක්ෂිණා එක්ක යන්න එනකං ඉන්න ආ" කියලා සර් දොර වහගෙන ගේ ඇතුලට ගියාම මං සර්ගෙ ගැරේජ් කෑල්ලේ ඉඳගෙන මං ලියපු කවි පොතේ කුරුටු ගානවා. එක දවසක්, මට හොඳටම විශ්වාසයි මං පොත බෑග් එකට දාගත්තා. ඒත් ගෙදර ගිහින් බලනකොට පොත නෑ! ඊළඟ දවසේ class ගියාම, මට සර්ගේ මූණ බලන්න බෑ. මං ඒක දාලා ගියානම් සර් අනිවාර්යෙන්ම දකින්න ඇති. දැක්කා නම් අනිවාර්යෙන්ම කියවන්න ඇති. ඒ වෙද්දි මගේ පොත මං ඇරෙන්න වෙන කෙනෙක් දැකලා තිබුණේ නෑ. බොහොම අමාරුවෙන් කටහඬ හොයාගෙනයි මං ඒ ගැන සර්ගෙන් ඇහුවේ. සර් මොකුත් නොකියා ගේ ඇතුලට ගිහින් පොත ගෙනාවා. ගෙනල්ලා පොත අතේ තියාගෙනම, "මං දැනගත්තා මේක කාට හරි වටින එකක් තමා කියලා. මං අරන් තියාගත්තා ඉතින්. මං කියෙව්වේ නෑ උඩින් පල්ලෙන් බැලුවා හැබැයි. ඒ වුණාට මං මෙහෙම වැඩ වලට ආසයි. ඔයා දෙනව නම් මං ආසයි කියවන්න." ඒක කියවලා මිසක් ආපහු දෙන්න සර්ගෙ අදහසක් නැති බව මට තේරුණා. ඉතින් මං ඇඹරිලා ඇඹරිලා "හා සර් එහෙනම් තුන්වෙනි එක ඇර අනිත් ටික කියවලා දෙන්න." කිව්වා. සර්ට ලොකු හිනාවක් ගියා. "හරි. අඩුගානෙ කියවන්න එපා කිව්වේ ඇයි කියලවත් මං අහන්නේ නෑ" එදාවත්, කවදාවත් සර් තුන්වෙනි කවිය කියෙව්වේ නෑ. මට විශ්වාසයි. එදා ඉඳන් සති දෙක තුනකට සැරයක් සර් උගන්නන ගමන් අහනවා, "දක්ෂිණ අධිවේගී කවි ලිව්වද?" ඉතිං මං ඇඹරෙනවා. "ලිව්වේ නැද්ද?" "ලිව්වා සර්" මං කියන්නේ ඇහෙන නෑහෙන ගානට. "මට පෙන්නන්නේ නැද්ද?" සර් මගේ පළමු රසිකයා වුණේ එහෙමයි.
කාලේ ගතවෙලා යනවත් එක්ක සිද්ධ වුණු විවිධ දේවල් හරහා මට සර් ගැනත්, සර්ට මං ගැනත් විස්තර දැනගන්න ලැබුණා. දවසක් සර් සර්ගෙ චූටි දෝනිව වඩාගෙන හුරතල් කරනවා මං බලන් ඉන්නවා සර් දැක්කම ලොකු වේදනාවක් සර්ගෙ මූණෙ ඇදිලා ගියා. මං ඉදිරියේ එහෙම කරපු එක ගැන සර් පසුතැවෙන්න ඇති. එදා එහෙම බලන් හිටපු එක ගැන මමත් අදත් පසුතැවෙනවා.
අදින් class ඉවරයි. මං සර්ට වැඳලා ගෙදර ආවා. ඒත් මගේ හිත බරයි. මට සර්ට මොකක් හරි දෙන්න ඕනෙ. ඒක කවියක් වෙන්නමත් ඕනෙ. ඒත් මොනවා ලියන්නද කියලා මට තේරෙන්නෙ නෑ. ජීවිතේ පළවෙනි වතාවට අකුරු කරන්න බැරි දුකකින් මගෙ පපුව හිරවෙලා. සර් එදා වඩාගෙන හුරතල් කලේ මාව නෙමෙයිද, සර් මගෙ තාත්තා නෙමෙයිද කියලා හිතුණා...

2014/07/25

"ඩයනා"

"Somewhere beyond right and wrong
there is a garden,
I will meet you there..."
"වැරැද්ද සහ නිවැරැද්දට ඔබ්බෙන්
උද්‍යානයක් තිබේ.
මම එතැනදී ඔබ හමුවන්නෙමි..."

2014/07/24

මාව
අහන්ට
දකින්ට
බැරි නං
අඩුගානේ
බැරිද නුඹට
මරන්ට...?

2014/07/23

තාම මෙතනයි...

අඳුරු මේකුළු 
සෙමෙන් වියැකී
ළහිරු රැල්ලක්
වැටෙන සිරියෙන්
නුඹ හැරී ආයෙත්
නොබැලුවා නම්...
නුඹ ගියත්
අව් රැල්ල මැකුනත්
සිහින් වැහිපොද
ආයේ වැටුනත්
තාම මෙතනයි
මං, මාව තෙමුණත්...

2014/07/20

නෙත් ඉම සරන
සිත් මල සිඹින
ගත් හද තුඩින
මත් බිඟු බමන
දෙත් පෙම් සිහින
ලත් සැප නසන
මුත් ලඟ රැඳෙන
නැත් පල ලබන

2014/07/01

මගේ තම්බි ලෝකය

මගේ තම්බි ලෝකය ඇරඹෙන්නේ තුවාන් රුෂ්ඩි හනන් ගෙනි. ඔහු මට හමුවන්නේ සා.පෙ සිංහල පන්තියේදීය. ඔහු පන්තියේ සිටි ලස්සනම කොල්ලා විය. හනන් බොහෝ දුරට මං වාගේම පාලනයෙන් තොර චරිතයක් වු අතර මට මෙන්ම ඔහුටද තදින් ඇදුම තිබිණි. ඔහු මිත්‍රශීලී ආදරණීය චරිතයකි. සා.පෙළින් පසු මට ඔහු මඟහැරුණු අතර. ඊට අවුරුද්දකට පසු ඔහු පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙස මව්බිම පුවත්පතට දී තිබූ සම්මුඛ සාකච්ඡාවක් හැරුණු විට මේ වනතෙක්ම මට ඔහු හමුවූයේ එකම එක වතාවක් මාකට් එක අසල බස් හොල්ට් එකේදී පමණි. කුඩයකුත් වනමින් පැමිණි ඔහු විනාඩි බාගයක් සිනාසෙමින් කතා කරමින් හිඳ යන්නට ගියේය.
මගේ දෙවෙනි තම්බියාගේ නම මට මතක නැත. මට එය කවදාවත් මතක තිබ්බේද නැත. බොහෝ උස, බොහෝ දිගැති කොණ්ඩයක් තිබූ, ඉතා ලස්සන දැරියක් වූ ඈ සොඳුරු සිනා නගමින්, ගොරෝසු හඬින් කැඩුණු සිංහල කතා කරමින් මා අසල හිඳගෙන මගෙන් ගණන් කොපි කල මගේ සුන්දර මිතුරියයි.
මගේ තුන්වන තම්බියා මගේම සොයුරිය ෆාතිමා අක්කියාය. ඈත් මාත් පාසල් ගියේ එකම වෑන් රියෙනි. ඈත් මාත් ජීවිතය දකින්නේ එකම දැක්මකිනි. ඈත් මාත් බැඳී ඇත්තේ ආත්මීය බැඳීම්කිනි. මං වාගේම හිතන කෙනෙක් මට මුණගැසුනේ ජීවිතයේ පළමු වතාවටය. ඈ මගේ සොයුරිය, මිතුරිය විය. ෆාති අක්කියා ගැන කියන්නට ගියොත් මට ජීවිත කාලයක් ලියන්නට දේවල් ඇත. ඒ නිසා මම ඈව බොහෝ අගය කරන බවත්, මම ඈට බොහෝ ආදරේ බවත් පමණක් පවසා නවතින්නෙමි. ඇගේ මෑණියන්ද මා බොහෝ අගය කරන මා ජීවිතේ දුටු ශක්තිමත්ම හදවත හිමි තැනැත්තියයි.
මගේ ඊළඟ තම්බියා zaithun ය. Zai මගේ ජීවිතයට විශාලම බලපෑම කල තම්බිච්චිය. ඈ ඉතාම කුඩා, සිහින්, සුදුමැලි ඉහේ සිට පොරවාගත් අබායාව නිසා වඩාත් දුර්වලව පෙනෙන, බොහෝ ශක්තිමත් ආදරයක් හදවතේ තබාගෙන සිටින තැනැත්තියකි. ආදරය ගැන මාතුල වූ ප්‍රසන්න නොවූ හැඟීම් සියල්ල පලවා හැරි, හැම දුකක්ම බෙදාගත්, හැමදේටම ළඟින් සිටි මගේ හොඳම මිතුරිය මගේ zaiyaය.
ඊළඟ තම්බියා ඉතා මෑතකදි මුණගැසුණු අම්මා සමඟ එකට වැඩ කරන සාහිරා අක්කායි. පුදුමාකාර ලෙස අහිංසක වන ඇය පුදුමාකාර tube light එකක්ද වේ. නමුත් ඈ අවංක, අව්‍යාජ, දයාබර චරිතයකි.
මේ මගේ තම්බි ලෝකයයි. හෙට එයට තවත් තම්බීන් එක් වනු ඇත. ඔවුන් මගේ හදවතට සමීප වනු ඇත. ඔබට ඔවුන් බලු තම්බින් ය. පර හම්බයින් ය. කරුණාකර මගේ තම්බි ලෝකය විනාශ නොකරන්න. මට ඔවුන් මිනිසුන් ය.