2014/11/18

හරි පුදුම ඉස්කෝලෙ

හරි පුදුම ඉස්කෝලෙ ළමයින් එකසිය හතලිස් දෙකකි. ගුරුවරුන් විසි අටකි. බිල්ඩින් පහකි. හරි පුදුම ඉස්කෝලෙ පොඩි එකකි. ඉස්සර නම් එහි ගුරුවරු විසි නමයක් සිටිය නමුත් ලොකු සර් ඔක්තෝබර් මාසයේදී විශ්‍රාම ගිය නිසා දැන් ඉන්නේ විසි අටකි. නමුත් පාසලක වැදගත්ම පිරිස ගුරුවරු නොව ළමයින් ය.
හරි පුදුම ඉස්කෝලෙ ප්‍රාථමික අංශයේ ළමයි තිස්පහක් පමණ සිටිති. ආනන්ද කසුන් පළමු ශ්‍රේණියේය. කසුන් හුරතල් බෝල පොඩ්ඩෙකි. තප්පරයක් නිකම් සිටීමට බැරි දඟකාරයෙකි. ලොකු සර් සිටින කාලයේ ඔහු කෙලින්ම ලොකු සර් හමුවීමට ගොස් මේ පාසල දෙමල පාසලක් කරන්නැයි කියා සිටියේය! එසේ කියන්නට හේතුව පාසලේ බොහෝ දෙනා මුස්ලිම් ජාතිකයින් වීමත් ඔවුන් දෙමළෙන් කතා කිරීමත් ය. කසුන්ගේ වැඩ ඔන්න ඔහොමය! කසුන්ගේ අම්මාත් තාත්තාත් දෙදෙනාම පිටරටය. පාසල් ඇරුණු පසු ඔහු ගෙදර රැගෙන යාමට ඔහුගේ අවුරුදු විස්සක් වූ බාප්පා පැමිණේ. කසුන් තම බාප්පා පිටුපස අඩක් ඇවිදිමින් අඩක් දුවමින් ගෙදර යයි.
මගේ හිතවත් මිත්‍ර එරන්දගේම මූණ ඇති හිරාස් සිටින්නේ හතරේ පංතියේය. ඔහු මුස්ලිම්ය. හුරතල්ය. දඟය. මේ එරන්ද පැටියා හැමවිටම බාල්දි පෙරලා ගත්තේය. එකොළහ වසරේ කොල්ලන්ගෙන් ගුටි කෑවේය. ගුරුවරුන්ගෙන් ගුටි කෑවේය. තාත්තාගෙන් ගුටි කෑවේය. පහ වසරේ සිටි හිරාස්ගේ අයියා හිරාස්ගෙන් ගුටි කෑවේය. හිරාස්ගේ පියා ත්‍රීරෝද රථ රියැදුරෙකි. අඩුපාඩුවක් නැතිව පිරිසිදුව ඔවුන් පාසලට එවීමට ඔහු වගබලා ගනී.
පහේ පංතියේ සිටින කෙහාන් ඉතාම ලස්සන කොල්ලෙකි. කෙහාන්ගේ මූණේ හුරතලේය. දෑසේ මනමාලකමය. කටේ කුණුහරුපය! ඔහු දක්ෂ විචක්ෂණශීලී කොලු පැටියෙකි. දෙමාපියන්ගේ ඇල්මැරුණු සැලකිල්ල නොවේ නම් ඔහු හොඳ තැනකට එන්නට හොඳටම ඉඩ තිබේ. සිය මුඩුක්කු ජීවිතයෙන් ගොඩ ඒමට ඔහුට නැත්තේ පිනදැයි මම නොදනිමි.
හයේ පන්තියේ සිටින රිෆ්කාන් ෂෝ අපූරු කොලු පැංචෙකි. තමාට ෂෝ යනුවෙන් අමතනවාට ඔහු කැමති නැත. "මේ මැඩම් මේ මට ෂෝ ෂෝ ගාන්න එපා හරී!?" ඔහු පවසයි. ඔහු ඇද පැද සිංහල කතා කරන හුරතල් ආකාරයට මම ඇළුම් කරමි.
එස්තර්ද සිටින්නේ හයේ පංතියේය. මොනයම් හෝ හේතුවක් මත මට එස්තර් කෙරේ මහත් අනුකම්පාවක් උපදී. එස්තර් ගේ දෙමාපියන් නැත. ඈ පාසලට පැමිණෙන්නේ කන්‍යා සොයුරියන් පිරිසක් පවත්වාගෙන යනු ලබන ළමා නිවාසයක සිටය. ඇතැම් දවසක උදෑසන ඈ බඩගිනි යැයි පවසා හඬයි. ඇතැම් දවසක ගවුමේ ඉරුණු තැනක පිටතටද පෙනෙන ලෙස කටුවක් ගසාගෙන එයි. ඒ හැමදේටම වඩා ඇගේ කඩිසර කෙට්ටු දෑත් මට දුක්බරය.
සාරාද හය වසරේය. ඇගේද දෙමාපියන් පිටරටය. ඈ සිටින්නේ ඇගේ නැන්දා කෙනෙකු ළඟය. ඔවුන් මේ කෙල්ල දෙස බලන්නේ පාර අයිනේ සිටින බලු පැටියෙකු ගානට බව පැහැදිලිය. අඩුම ගානෙ ඇගේ මේස් දෙකවත් සෝදා නැත! සාරා ඉතාමත් ලස්සනය. මම නැවතත් පවසමි. ඉතාමත් ලස්සනය. ඈ රෝස පොහොට්ටුවක් වැනිය. ඈ එතරම් ලස්සන වූයේ වාසනාවටද අවාසනාවටදැයි නොදනිමි. යාන්තම් ඇටෙන් පොත්තෙන් එළියට එන විටම මේ කෙල්ල මොකෙක් හෝ කැරපොත්තෙක් සමඟ පැටලෙනු ඇත. අවාසනාවය.
හතේ පන්තිය නම්, එපාම එපා කරපු එකකි. හතේ පංතියේ පුංචි කසීර් ගැන කලින් ලීවෙමි. හතේ පංතියේ සිටින මා දුටු අනෙක් විශේෂම කොලු පැටියා මහේෂ් ගෞතමය. මහේෂ් සින්දුවක් කියනු මා ඇසූ පළමු අවස්ථාවේදී මම ගල්භූත වීමි. එය පුදුමාකාර කටහඬකි! මගේ දෑස් තෙත්විය. මට ඔහු බදා වැළඳගන්නට තරම් සිතිණි. ඒ තරම් අද්විතීය කටහඬක්, ගායන හැකියාවක් මේ පැංචා සතුය. ඒ හැකියාවෙන් නිසි ඵල ලබා ඉහලට යන්නට ඔහුට හැකිවේවිද? නැතිනම් දුප්පත්කම, අසරණකම ඒ හැකියාව ඔහු තුළම මිහිදන් කරාවිද? මට දුකය...
නමයේ පංතියේ අකුරු කියවීමට ලිවීමට නොදත් ළමයින් දෙදෙනෙකු සිටිති. එකෙක් මවට අවුරුදු දාහතේදී, පියාට අවුරුදු දහනමයේදී මෙලොව එළිය දැක, නොසලකා හරිනු ලැබ සිටියදී ළමා නිවාසයේ පියතුමන් රැගෙන විත් හදාගන්නා රසුන් ය. ඔහු එපා කරපු නරකම නරක ළමයෙකි. ඔහු මා දෙස බලන්නේ පවා වල්ම වල් බැල්මකිනි. අනෙක් කොළුගැටයා හේෂාන් ය. මට හේෂාන් ගැන පුදුම තරම් දුකය. ඔහු ඉතා හොඳ ළමයෙක් වීම පළමු කාරණයය. දෙවැන්න නම්, ඔහුට ගුවන් නියමුවෙකු වීමට ඕනෑ වී තිබීමය. වයස දාහතරක් වන, අකුරු ලිවීමට නොදත් මේ කොලුගැටයා පුස්තකාලයට වී ගුවන්සර සඟරාවක් පෙරලාගෙන ගුවන් නියමුවෙකු වීමට හීන දකියි! ඔහුගේ හීනය ඉටු කරවීමට හැකි නම් මට වෙන මොන මඟුලක්වත් ඕනෑ නැත!
මේ හරි පුදුම ඉස්කෝලේ ළමයින් ටික දෙනෙක් විතරය. උන් එකසිය හතලිස් දෙදෙනාටම වෙන්වූ වෙනස්, අනන්‍ය, බොහෝවිට දුක්බර කතාවක් ඇත. මට උන් ගැන දුකය. මගේ ළමා ලෝකයේ ගිලිහී ගිය තැන් මට නැවත විවර කර දෙන මේ පොඩි උන් ටිකට, මං ආදරේය...

No comments:

Post a Comment