2015/03/29

ආදරේ තරම් නුඹට
කියන්න වචන මදි මට
ඉතින් නුඹ ගිය සද
අඬන්න කඳුළු මදි මට
හිතේ දුක යවන්නට
හෙලන්න සුසුම් මදි මට
නුඹ එක පුංචි කවියක්
ලියන්න අකුරු මදි මට.....

වෙනස!

ලං වෙන්න බැරි බව
දුක් වෙන්න වෙන බව
දැනුනාම නුඹ වෙනස් වුණා
හරියට වගේ අහස...
ලං වෙන්න බැරි බව
දුක් වෙන්න වෙන බව
දැනම මං නුඹම හොයනව
අන්න ඒකයි වෙනස!

2015/03/26

මින්පෙර කිසිම දිනයක නොමවිඳි ලෙසට
කඩා වැටෙන තරමට හොඳටම බරට
හේදී යන්ට එසේ පිරුණ දුක හිතට
නැඟුනු කළු වලාවේ වැහැපන් තදට

2015/03/25

කරන්නට හැදු නමුත් අමතක
නුඹ යළිත් හදවතේ රැඳුණා
අතර පතරක නුඹව සිහිවී
කියු වදන් සවනතේ ඇසුණා
සිනාවක් ඉපදී දෙතොල් අග
සෙමෙන් වියැකී දුරක ඇදුණා
නුඹේ පෙම ළඟකවත් නැති සද
කඳුළු බෝ උණුසුමට දැනුණා

2015/03/18

හිනාවට හේතු දුන් තිස්සෙම
එළිය දුන් මඟ ඔස්සෙම
පැහැය දුන් හිත අස්සෙම
සුවඳ දුන් දේ ඔක්කොම
ළඟින් නෑ දැන් ඇත්තෙම
නුඹෙන් පසු නෑ දැක්කෙම
උනුත් ගියාද නුඹත් එක්කම
ඒ පස්සෙම?

2015/03/14

පුංචි කහ පාට මල්
පිපෙන්නට ගත්තත්
අන්න වසන්තය ඇවිත්
නුඹ සිතුවත්
රොබරෝසියා කැකුළු
ගිලිහී
පිපෙන්නත් කලින්
අහස වැළපෙන්නෙ
නුඹ නොමැති සොවින්
නෑ වසන්තය නෑ
තවම ඇවිදින්.......

2015/03/11

බැඳුණු දූවිලි
පැරණි සිහිනවල,
ඉතිරි අළු
ආදරණීය මතකවල,
තදින් මුහුකොට,
දෙතොල දී දෙතොලට
පිඹිමි
ප්‍රේමයේ උණුසුම් හුස්ම
නුඹේ මියගිය
හදවතට

2015/03/08

තරුවලට වෙඩි තබමි

නුඹ එතැයි යළි සිතා
සිතින් බෝ දුක දරමි
දැන දැනත් නොඑන බව
යළි යළිත් මඟ බලමි
තරු රැසින් එළිය වුණු
මාවතේ නුඹ දකිමි
මොහොතකින් ඒ දැකුම
මිරිඟුවක් බව දකිමි
රෑ පුරා එළිය දෙන
තරු වලට වෙඩි තබමි
එකින් එක බිම හෙලා
ලොව අඳුර රජ කරමි
ඉතින් නම් නුඹ නොඑනු
නොදකිමියි සිත හදමි
මළ තරුත් ඝනඳුරත්
සැනසුමෙන් විඳගනිමි
මොහොතකින් නුඹේ පා
ගැටෙන හඩ මම අසමි
නුඹ නොවන බව දැනම
නොමළ තරුවක් සොයමි
නුඹ ඇවිත් මා දෙතොල්
සිපගන්න තුරු හිඳිමි
පා ගැටෙනුදැයි අසමි
අඳුර මැද නුඹ සොයමි
නැත එන්නෙ නැත නුඹ
දෙසවන් තදින් වසමි
සුළං රැල් ගෙන හමන
නුඹෙ සුවඳ ඉව කරමි
බෝ පෙරදි මහද විදි
නුඹෙ සුවඳ තව සොයමි
ඒ සුවඳ හදෙහි මිස
සුළඟෙ නැති බව දනිමි
දැන දැනම නුඹ පැමිණ
ඇතිද සිහිනෙන් සිතමි
තරුත් නැති නුඹත් නැති
තනි අඳුර මැද හඬමි
අළුත් තරුවක් ඉපිද
නුඹ එතැයි හෙට සිතමි
හෙට යළිත් මඟ බලමි
නුඹ දකිමි නුඹ අසමි
තරුවලට වෙඩි තබමි
දෙසවන් වසා හඬමි.....

2015/03/07

නුඹ සිටිය නම් කොතෙක් රිදුණත්
කඳුළු නොහලා ඉන්න තිබුණා
යනෙන මඟතොට හැපී වැටුණත්
යළි යළිත් නැගිටින්න තිබුණා
ලොවම යදමින් බැඳ පෙළූවත්
නුඹ නිසා හිනැහෙන්න තිබුණා
සැමට රහසින් දුක් සැදෑවක
නුඹේ නෙත් සිපගන්න තිබුණා
අහසෙ තරු කැට දිලෙන තරමට
ආදරේ පවසන්න තිබුණා
සයුරු තෙර රළ නැගෙන ගණනට
හාදු සුළඟේ එවනු තිබුණා
නික්ම යන්නට හිතෙන හැමවර
නුඹ සොයා යළි එන්න තිබුණා
නුඹ නැතිව දැන් හිඳිනු කුමකට
හෙමි හෙමින් මියැදෙන්න හිතුණා...