2015/03/08

තරුවලට වෙඩි තබමි

නුඹ එතැයි යළි සිතා
සිතින් බෝ දුක දරමි
දැන දැනත් නොඑන බව
යළි යළිත් මඟ බලමි
තරු රැසින් එළිය වුණු
මාවතේ නුඹ දකිමි
මොහොතකින් ඒ දැකුම
මිරිඟුවක් බව දකිමි
රෑ පුරා එළිය දෙන
තරු වලට වෙඩි තබමි
එකින් එක බිම හෙලා
ලොව අඳුර රජ කරමි
ඉතින් නම් නුඹ නොඑනු
නොදකිමියි සිත හදමි
මළ තරුත් ඝනඳුරත්
සැනසුමෙන් විඳගනිමි
මොහොතකින් නුඹේ පා
ගැටෙන හඩ මම අසමි
නුඹ නොවන බව දැනම
නොමළ තරුවක් සොයමි
නුඹ ඇවිත් මා දෙතොල්
සිපගන්න තුරු හිඳිමි
පා ගැටෙනුදැයි අසමි
අඳුර මැද නුඹ සොයමි
නැත එන්නෙ නැත නුඹ
දෙසවන් තදින් වසමි
සුළං රැල් ගෙන හමන
නුඹෙ සුවඳ ඉව කරමි
බෝ පෙරදි මහද විදි
නුඹෙ සුවඳ තව සොයමි
ඒ සුවඳ හදෙහි මිස
සුළඟෙ නැති බව දනිමි
දැන දැනම නුඹ පැමිණ
ඇතිද සිහිනෙන් සිතමි
තරුත් නැති නුඹත් නැති
තනි අඳුර මැද හඬමි
අළුත් තරුවක් ඉපිද
නුඹ එතැයි හෙට සිතමි
හෙට යළිත් මඟ බලමි
නුඹ දකිමි නුඹ අසමි
තරුවලට වෙඩි තබමි
දෙසවන් වසා හඬමි.....

No comments:

Post a Comment