2016/07/18

කිසි පාටක් නැති කුඩයක්

වැස්ස! ඉස්සර මං, වැස්සට කැමතිම නෑ. මොකද කිව්වොත් කුඩේ ඉහලන්ඩ වෙන හින්ද! කුඩේ ඉහලගෙන යන්ඩ ගියාම, වටේ ඉන්න එවුන්ගෙ කුඩවල වැදිල ඉවරක් නෑ. කුඩේ ඉහලන්නේ නැතුව ගියොත්, බැනුම් ඉවරක් නෑ. කකුල් දෙකට මඩත් එක්ක වැලි කැට ඉහිල, කොට එවුන්ගෙ කුඩ වලින් බේරෙන වතුරට තෙමිල, කට කට ගාල දත් ඇදි එකට වදින්න ගන්නවට, මං කැමතිම නෑ. පස්සෙ පස්සෙ මට තේරෙන්ඩ ගත්තා මං කැමති නැත්තෙ වැස්සට නෙමෙයි කියල. මං කැමති නැත්තෙ ඔය පස්සෙ කිව්ව දේවල් වලට. නැත්තං මං පස්සෙ පස්සෙ වැස්සට ආස වෙන්ඩ ගත්තද මංද... කොහොමහරි, කුඩ ඉහලන්ඩ නං කැමති උනේම නෑ මං කවදාවත්. ඒත් ටික ටික ලොකු වෙන්ඩ වෙන්ඩ මං වැස්සට වැඩි වැඩියෙන් කැමති වුණා. අන්තිමේදි මං, වැස්සට ආදරේ කරන්ඩ පටන්ගත්තා. වැහි වෙලාවට මට පුදුම සතුටක් ඇති වෙන්ඩ ගත්ත. වැඩියත්ම මහ හයියෙන් හුළං හමාගෙන, ලොකු ගස් අඹරවගෙන, බය හිතෙන තරමට හයියෙන් හෝ ගාලා වහිනකොට. කට කන් දෙක ගාවට ගිහින් නතර වෙනව එතකොට. ඇත්තම කියන්ඩ, නාහෙ බරවෙලා ඇඬෙන්න තරං සතුටක් එනව වෙලාවකට. එහෙම වහිද්දි, ජනේලයක් අස්සෙන් ඒ දිහා බලන් ඉන්න එක කොයිතරං සතුටක්ද! හෙමීට ජනේලෙ ඇරලා මූණට පින්න වදින්න අරිනවා වෙලාවකට. පොළොව තෙමෙන දූවිලි සුවඳත් එක්ක පින්න ඇඟට වදිනකොට දැනෙන්නේ අමුතුම සනීපයක්. එළියට පැනල ඒ නැවුං වැස්සෙ ඇතිවෙනකල් තෙමෙන්ඩ හිතෙනවා. එතකොට කවුරු හරි ජනේලෙ ලඟින් යන්ඩ ඇවිත් තෙමිල ලෙඩ හදාගන්නව කියල බනින්න ගන්නව. ජනේලෙ වහල දැම්මත් දිගටම බනිනවා.
ඔන්න ඔය වගේ හොඳටම වැස්ස කාලෙක, මං මගෙ කුඩේ බොහොම පරෙස්සම් කරපු නිසා, ගමනක් යන හැම සැරේකම කාටහරි වැඳල කුඩයක් ඉල්ලගෙන යන්න වුණා. කුඩයක් නොගෙනිච්චත් එයාලට අමාරුයි. ගෙනියන්න එකක් ඉල්ලනකොටත් අමාරුයි. එහෙම ඉල්ලගත්ත කුඩයක ඉහලගෙන පාර දිගේ යනකොට, වැඩිය සෙනග නැති වෙලාවක් බලල හෙමීට කුඩේ පාත් කරනව. එතකොට 'සස්' ගාලා හුළං රැල්ලක් කොණ්ඩෙ අවුස්සගන මං පහුකරල යනවා. ඔළුව ඉබේම පස්සට නැමිලා මූණට වැහි බිංදු වැටෙනකොට ඇස් දෙක පියවෙනව. ආයෙම ඇස් ඇරලා බලනකොට පාරෙ යන ගෑනු අය අමුතු විදිහට බලනවා පේනවා. මං ආයෙම කුඩේ කෙලින් කරගෙන අඩිය ඉක්මං කරල යන්ඩ යනවා. ඒ දවස්වල කුඩ අයිතිකාරයොන්ට මං නිසා මාරුවෙන් මාරුවට තෙමෙන්ඩ වුණ නිසාත්, වැහි කාලෙ ඉක්මනින් අහවරක් වෙන බවක් පේන්ඩ තිවුණෙ නැති නිසාත්, අන්තිමේදි මට සල්ලි හම්බෙනවා අළුත් කුඩයක් ගන්ඩ. දවසක් හවසක, හවුල් කුඩයක් අස්සෙන් බාගෙට තෙමි තෙමි කුඩයක් ගන්න මං යනව. නෑ නෑ අපි යනවා. කුඩේ හවුල්කාර හැමෝම. කුඩ කඩේට ආවම පිස්සු වගේ. නා නා ප්‍රකාර කුඩ වටේට එල්ලල, හේත්තු කරල, රාක්කවල පුරවල එහෙම තියෙනවා. තව කවුන්ටරේ ගාව ලස්සන අක්ක කෙනෙකුත් ඉන්නවා. මං ඒ අනන්ත අප්‍රමාණ කුඩ අස්සෙන් අක්කව පහුකරගෙන ගිහින් මට ගන්න හිතට අල්ලන විදියෙ කුඩයක් හොයනවා. මල් මල් කුඩ, කොටු කොටු කුඩ, බිංදු බිංදු කුඩ තියෙනවා. එක එක මෝස්තර තියෙන ඒවත්, තනි පාට ඒවත් තියෙනවා. රෝස, දම්, රත්තරං පාට! මොන මඟුලක්ද! එක රාක්කෙක තනි කළුපාට කුඩ විතරක් ගොඩගහල තියෙනවා. මං එයින් එකක් ගන්ඩ හිතාගෙන එතැනට කිට්ටු කරනවා. එතකොටයි මං ඒක දැක්කෙ. ඒක, කිසි පාටක් නැති කුඩයක්! මං එතන නැවතිලා ඒක දිහාම බලාගෙන හිටියා. වැස්සට තෙමිල හීතල වෙලා තිබුණ ඇඟිලි නිකං කිතිකැවෙනව වගේ දැනුණ. මං කිසි පාටක් නැති කුඩෙත් අරං කවුන්ටරේ ළඟට ආවා. එච්චර වෙලාම කවුන්ටරේ ළඟට වෙලා කවුන්ටර් අක්කට පැනි පෙරපු කුඩ හවුල්කාර උන්දැල මං ගන්ඩ යන කුඩේ දැකල කෙකර ගාන්ඩ ගත්තා. 'හී හී හී උඹ ඕක පාරෙ ඉහලගෙන යන්ඩද යන්නෙ බං? හෑ හෑ හෑ උඹට අමුවෙං මොනවහරි කැවුනද බං ලඟදි? හූ හූ හූ'. කවුන්ටර් අක්ක ලඟ ඉන්නව නේද කියලවත් නොබල උං මට නෝන්ඩිය දැම්ම. මං ආපහු ගිහිං, කුඩේ ගත්ත තැනින්ම තිබ්බා. ආපහු කවුන්ටරේ ළඟට ආව. 'යං' මං කඩෙන් එළියට බැස්ස.
පහුවදා මං ආයෙම කුඩ කඩේට ගියා. හවුල් කුඩ මගෑරල, එදා මං ගියෙ තනියම. හිතට ආව කේන්තිය නිසා දමල ගහල ආවට මොකද ගෙදර ආ වෙලේ ඉඳං අපරාදෙ හිතුණා. නිදාගන්ඩ ගියාමත් මතක් වුණා. ඕන එකෙක් ඕන මඟුලක් කියපුදෙන්! මං ඒක ගන්නවාමයි කියල හිතුවා. ඒක විකුණන්ඩ තිබ්බ එකක් නෙමෙයිවද්ද කියලත් හිතුණා, ඒත් ඇවිත් බලනකොට, රුපියල් 560යි කියල ගහල තිබුණා. එදා කවුන්ටර් අක්ක හිටියෙත් නෑ. හිටියෙ වෙන අයියා කෙනෙක්. ඒකා මූණවත් නොබලා බිල දාල දුන්න. මං කුඩෙත් අරං එළියට එනකොට වැස්ස නැවතිලා ලා අවුවක් වැටිල තිබුණා. කුඩේ අරං මං ගෙදර ආවා.
ඊට පස්සෙ දවසෙවත්, ඊටත් පස්සෙ දවසෙවත් වැස්සෙ නෑ. තුන්වෙනි දවසේ, මෙන්න අහස බරවෙලා  කළුපාට පාට වළාකුළු පිරිල තියෙනවා! ඒත් වැස්සෙ නෑ. මං එළියට බැස්සෙ කුඩෙත් අරගෙන. ටික වෙලාවකින්ම මහ වැස්සක් වැටෙන්න ගත්ත. එකපාරටම, ලොකු වැහි බිංදුත් එක්ක. කිසි පාටක් නැති මගේ අළුත් කුඩේ දිගාරින්ඩ යනකොට, ඇත්තටම පපුව වේගෙන් ගැහුණා. ඒ අරුම පුදුම කුඩේ දිගෑරල මං ඔළුවට උඩින් අල්ලගත්ත. ඇස් දෙක තදකරල ආයෙ ඇරිය. වෙනසක් නෑ! ඇත්තටම කිසිම වෙනසක් නෑ. මේකත් නිකං වෙන ඕනම කුඩයක් ඉහලගෙන ඉන්නවා වගේමයි! ආය බොරු කියන්නේ මොකටද, කිසි පාටක් නැති කුඩයක් දැක්කම ඇඟිලි තුඩු කිතිකැවිල ගියෙ, වැස්සෙ තෙමෙනවට ටිකකවත් ළඟින් යන හැඟීමක් ඒක ඉහලං යද්දි දැනෙයි කියල. මදැයි කොලා! වටේ පිටේ ඉන්න එවුන් අමුතු බැල්මකින් බලල යනව ඇරෙන්න, වෙන ඕනම කුඩේකට වඩා මේ මඟුලෙ කිසිම වෙනසක් දැනුනෙ නෑ. මාත් එක්කම හීනි කේන්තියකුත් එක්ක, දුකත් එකතුවෙලා මහ මුස්පේත්තු හැඟීමක් දැනුණ. බලාපොරොත්තු කඩවෙලා, කලකිරිල මං නොදැනිම පාර මැද නැවතිලා හිටිය. කුඩේ දිහාට එල්ල වෙන පුදුමෙන් ලොකු වෙච්ච ඇස් ගැන තැකීමක් වත් හැඟීමක් වත් නැතුව මං හෙමිං ඉස්සරහට ඇවිදගෙන යන්ඩ පටන්ගත්ත. සෑහෙන දුරක් ගියාට පස්සෙ, හිතට පොඩි එළියක් වැටුණ. කුඩේ බාලා අකුලද්දි මගේ මූණට හිනාවක් ආවා.මං ඉස්සරහට ඇවිදගෙන ගියා. මගේ කොන්ඩෙ පස්සට පීරගෙන 'සස්' ගාල හුළඟ හමාගෙන යනවා. ඔළුව ඉබේම පස්සට නැමිලා, මූණට වැහිබිංදු වැටෙන්කොට ඇස් දෙක පියවෙනව.

2 comments: