2016/11/19

රිදී පැහැ සයිලෆෝනයක්
වීදුරු මිටකින් වයන
මිහිරි නාදයක්
ඈතින් ඇසුණි

විඩාබර සවස් කල
වියපත් හිරු කිරණ
කිරිගරුඬ පොළොව මත
ඇලයකට වැටුණි

වියළි පත් විසිරුණු
ඉපැරැණි සඳැල්ලක
සෝපාවක ගිලී
හිඳින්නට සිතුණි

රෝස පැහැ රෝස මල්
අතින් සිතුවම් කෙරුණු
පීරිසි කෝප්පෙක
තේ වතුර නිමුණි

සුදු ගවොම ලිහිල් කර
කෙහෙරැලිද ලිහූයෙන්
දෙඋරහිස් නිරුවත්ව
සුළං පහරට ඇරුණි

එවන් ඒ ගිමන්කල
නොනින්දත් නින්දත් අතර
හදවතේ කවුළු ළඟ
නුඹේ කටහඬ ඇසුණි!

එක් වරම සිදුවෙයි නෙතට නෙත ගැටුම
මත් නොවී හදවත හිදින්නේ කොහොම
මක් කරන්නද නොතේරේ මට තවම
නෙත් වලින් නුඹ කවි ලියාදෙන අරුම

පියාඹන්නට හිතෙන හෙයින්
අහස නොපෙනෙන්න පාට තවරමි
සොයා යන්නට හිතෙන හෙයින්
සිතිජය වැසෙන්නට රූප අලවමි
නුඹ සිහිනයෙන් පෙනෙන හෙයින්
රැයම නොනිදා සිතුම් අහුලමි
කිසිමදා හිමි නොමැති හෙයින්
පෙමක සිතුවිලි සිතක සඟවමි