2019/09/12

ආදරෙන් පාටකල ලස්සනම හීනවල
බැඳෙනකොට දූවිලි, පාසි
හූල්ලන කෝච්චියෙ ගෙදර යනවට වඩා
කොළඹ මැද තනි වෙන්න ලේසි

නුඹ කියන්නේ ගැන ඉතා දරුණු තරු අනතුරු
පොඩිපට්ටම් මූණු, පැළුණු තොල්වල විසිතුරු
අතින්ම පදම් කර සෑදූ ශෝකයක වෙව්ලන පිළිතුරු
දම් පැහැ තැළුම්, වියළි ලේ, කඳුළු හා සුමිතුරු


ඉන්පසුව එළැඹියේ,
අමුතු හීන පේන, අමුතු දවස්

දරාගන්නට අපහසු
උදේට වහින, ඉර පායන හවස්

පාර දෙපැත්තෙ හංගාපු
සුළඟටවත් සැලෙන්නැති රහස්

තෙමුණු තෙත සපත්තු
ගිම්හාන ඍතුවකට දුරස්

බෝම ඈතින් ඇසට පෙනුනත් කනට නොඇසෙන ගීත පාවෙයි
පාට රැව්දෙන කළුවරේ අමු තිත්ත සුවඳක මතක යාවෙයි
දෝංකාරය නොනැවතී හැමදාම වගෙ හෙට උදෙත් රෑ වෙයි
නම නොදන්නා තාරකාවක සීත රසයක කඳුළු ගෑවෙයි

පෙම්වතුන් ඉඳහිට
හඬ හඬා කියන දුක සයුරට
එකතු කොට රළකට
සයුර එළවත් නිහඬ වෙරළට

ඒ වෙරල ඉවුරට
හොඳින් ලංවී බැලු විට
දුක් කඳුළු පය වට
බිඳි බිඳී යන පෙන කැට


අනන්තාවකාශයේ පිණිබිඳ!
මහ පොළව සිපගන්න පෙර,
රික්ත හදවත පිරී යනු වස්
ඇස් වලින් නුඹ උරාගමි, බිඳෙන් බිඳ

දූවිලි බැදුණ පොත්පත්
නිම නොකල සායම් කැන්වස්
මේසය මතද, බිමද,
හිස් බීර බඳුන් ය...

ශෝකයෙන්මම රතු වුණු
උකුසු, කොටි බැල්මක් රැඳවුණු
හැඟීමක් නොලියවුණු
කඳුලු නැති වියලි දෑස් ය...

පැහැය වියැකී බොඳවුණ
සායම් කළු පාට තැවරුණ
නොසේදූ කමිසයක නැගෙන
දහඩිය පුසුඹක් ය...

හිල්වුණු දොර කවුළු තිර ළඟ
තවමත් දැල්වෙන ෆිල්ටර ය
හදවතෙන් පැන උගුර මැද සිරවුණ
කිසිදා පිටනොකල ඉකියක් ය...

ඒක නිල් පාට හීනයක්. කළුපාට හෙවනැලි වැටුණු, තද නිල් පාට හීනයක්. ඒ හීනේ රිදී පාට ඇබින්දන් තරු කැට දාස් ගානක් තිබුණා. ඒවා තිබුණේ අපිට උඩින් නෙමෙයි. අපි වටේටම. හුඟක් ඈතිනුත් නෙමෙයි. අපි ළඟම. අපි වැතිරිලා හිටිය තණකොළ උඩ, ගස් අස්සේ, හුළඟත් එක්ක පවා තරු හෙමීට පාවෙලා ගියා. අහස, පොළව, අවකාශෙ, හැමතැනම තරු. ඔයාට පේනවද?

මං ඔයාට කැමතියි. මේ සේරම, මට ඔයා එක්ක බෙදාගන්න ඕන උනේ ඒකයි. මේ හීනේ පවා... ඔයාට හැමදේම කියන්න ඕනෙ. හැමදේම! මං හිතන දේ, මට හිතෙන දේ, මේ හීනෙ ඇතුළේ වුණ හැමදෙයක්ම, මට ඔයාට කියන්න ඕනේ. ඒව දන්නෙ මම විතරයි. මමම විතරයි. මම ඔයාට කියන්නම්. එතකොට ඔයත් ඒව දන්නවා. ඔයා අහගෙන ඉන්නවා නේද?

මට විශ්වාසයි. ඒ හැමදේම දැනගත්තාම, ඔයා මට ආදරේ වේවි. නැහැ. ඔයාට එහෙම නොවී ඉන්න බැරි වේවි. ඒවා ඒ තරම්ම අවංක, පිරිසිදු දේවල්. හරියට කඳුළු බිංඳු වගේ. ඉතිං ඒක වැස්සක්. කඳුළු වැස්සක්. මං හුඟාක් කාලයක් තිස්සේ එකතු කරපු කදුළු. අහන් ඉන්න. වැස්සේ සද්දේ.

වැස්ස කඩන් වැටුණා. මං ඒ වැස්සේ හොඳටෝම තෙමුණා. ඔයාව තෙමන්න කඳුළු වලට බෑ. ඔයාට පුළුවන් වැස්සේ හඬට කන්දීගෙන ඉන්න විතරමයි. ඒත් ඔයා මට ආදරේ වේවි. මට විශ්වාසයි!

වැස්ස නතර වුණාම, ඔයා එකපාරටම නැගිට්ටා. "පිස්සු!" එහෙම කියලා ඔයා යන්න ගියා. ඒ නිල් පාට හීනේ ඇතුලේ, එකපාරටම මම තනි වුණා! මට සද්දයක් ඇහුණා. මං හිතුවේ ඔයා ආපහු ආවා කියලා. නැහැ. ඒක වීදුරු බිඳෙන සද්දයක්. මගේ නිල්පාට හීනෙ! ඒක වේගයෙන් ඉරි තැලුණා. තරු ඔක්කොම නිවිලා යන්න පටන්ගත්තා. "සලාං" හීනේ කඩාගෙන වැටුණා. මට කෑල්ලක්වත් අල්ලගන්න බැරි වුණා. කඩා වැටුණු හීන කෑලිවලට මාව හොඳටම හීරුණා. ලේ ගලන්න ගත්‍තා. දැන් සේරම රතු පාටයි... නිල් පාට බිංදුවක්වත් නෑ.

මට පේනවා ඈතින් මොකක්දෝ දෙයක් තියෙනවා. ඒක ගොළුබෙලි කට්ටක්. ඒක එතනට ආවේ කොහොමද කියන්න, මං දන්නේ නෑ. මං ඒක දිහාට ඇවිදගෙන ගියා. හිස් ගොළුබෙලි කට්ට හුළඟට එහා මෙහා පෙරළුණා. යාන්තමට.

මං ගොළුබෙලි කට්ට ඇතුළට ගියා. ඒකෙ සිනිඳු සුදු මතුපිට උඩට ලේ බිංදු වැටිලා එළියට ගලාගෙන ගියා. මගේම පියවර සද්දේ, මගේම හුස්ම දෝංකාර දෙන ගොළුබෙලි කට්ටේ, ඇතුල් කෙලවර වෙනකල්ම මම ඇවිදගෙන ගියා...