2019/09/12

ඒක නිල් පාට හීනයක්. කළුපාට හෙවනැලි වැටුණු, තද නිල් පාට හීනයක්. ඒ හීනේ රිදී පාට ඇබින්දන් තරු කැට දාස් ගානක් තිබුණා. ඒවා තිබුණේ අපිට උඩින් නෙමෙයි. අපි වටේටම. හුඟක් ඈතිනුත් නෙමෙයි. අපි ළඟම. අපි වැතිරිලා හිටිය තණකොළ උඩ, ගස් අස්සේ, හුළඟත් එක්ක පවා තරු හෙමීට පාවෙලා ගියා. අහස, පොළව, අවකාශෙ, හැමතැනම තරු. ඔයාට පේනවද?

මං ඔයාට කැමතියි. මේ සේරම, මට ඔයා එක්ක බෙදාගන්න ඕන උනේ ඒකයි. මේ හීනේ පවා... ඔයාට හැමදේම කියන්න ඕනෙ. හැමදේම! මං හිතන දේ, මට හිතෙන දේ, මේ හීනෙ ඇතුළේ වුණ හැමදෙයක්ම, මට ඔයාට කියන්න ඕනේ. ඒව දන්නෙ මම විතරයි. මමම විතරයි. මම ඔයාට කියන්නම්. එතකොට ඔයත් ඒව දන්නවා. ඔයා අහගෙන ඉන්නවා නේද?

මට විශ්වාසයි. ඒ හැමදේම දැනගත්තාම, ඔයා මට ආදරේ වේවි. නැහැ. ඔයාට එහෙම නොවී ඉන්න බැරි වේවි. ඒවා ඒ තරම්ම අවංක, පිරිසිදු දේවල්. හරියට කඳුළු බිංඳු වගේ. ඉතිං ඒක වැස්සක්. කඳුළු වැස්සක්. මං හුඟාක් කාලයක් තිස්සේ එකතු කරපු කදුළු. අහන් ඉන්න. වැස්සේ සද්දේ.

වැස්ස කඩන් වැටුණා. මං ඒ වැස්සේ හොඳටෝම තෙමුණා. ඔයාව තෙමන්න කඳුළු වලට බෑ. ඔයාට පුළුවන් වැස්සේ හඬට කන්දීගෙන ඉන්න විතරමයි. ඒත් ඔයා මට ආදරේ වේවි. මට විශ්වාසයි!

වැස්ස නතර වුණාම, ඔයා එකපාරටම නැගිට්ටා. "පිස්සු!" එහෙම කියලා ඔයා යන්න ගියා. ඒ නිල් පාට හීනේ ඇතුලේ, එකපාරටම මම තනි වුණා! මට සද්දයක් ඇහුණා. මං හිතුවේ ඔයා ආපහු ආවා කියලා. නැහැ. ඒක වීදුරු බිඳෙන සද්දයක්. මගේ නිල්පාට හීනෙ! ඒක වේගයෙන් ඉරි තැලුණා. තරු ඔක්කොම නිවිලා යන්න පටන්ගත්තා. "සලාං" හීනේ කඩාගෙන වැටුණා. මට කෑල්ලක්වත් අල්ලගන්න බැරි වුණා. කඩා වැටුණු හීන කෑලිවලට මාව හොඳටම හීරුණා. ලේ ගලන්න ගත්‍තා. දැන් සේරම රතු පාටයි... නිල් පාට බිංදුවක්වත් නෑ.

මට පේනවා ඈතින් මොකක්දෝ දෙයක් තියෙනවා. ඒක ගොළුබෙලි කට්ටක්. ඒක එතනට ආවේ කොහොමද කියන්න, මං දන්නේ නෑ. මං ඒක දිහාට ඇවිදගෙන ගියා. හිස් ගොළුබෙලි කට්ට හුළඟට එහා මෙහා පෙරළුණා. යාන්තමට.

මං ගොළුබෙලි කට්ට ඇතුළට ගියා. ඒකෙ සිනිඳු සුදු මතුපිට උඩට ලේ බිංදු වැටිලා එළියට ගලාගෙන ගියා. මගේම පියවර සද්දේ, මගේම හුස්ම දෝංකාර දෙන ගොළුබෙලි කට්ටේ, ඇතුල් කෙලවර වෙනකල්ම මම ඇවිදගෙන ගියා...

1 comment:

  1. "ඒක නිල් පාට හීනයක්. කළුපාට හෙවනැලි වැටුණු, තද නිල් පාට හීනයක්. ඒ හීනේ රිදී පාට ඇබින්දන් තරු කැට දාස් ගානක් තිබුණා. ඒවා තිබුණේ අපිට උඩින් නෙමෙයි. අපි වටේටම. හුඟක් ඈතිනුත් නෙමෙයි. අපි ළඟම. අපි වැතිරිලා හිටිය තණකොළ උඩ, ගස් අස්සේ, හුළඟත් එක්ක පවා තරු හෙමීට පාවෙලා ගියා. අහස, පොළව, අවකාශෙ, හැමතැනම තරු. ඔයාට පේනවද?" <3 <3 <3

    ReplyDelete