ගොරෝසුම රෙදි කඩක තද වෙන්න ඔතාගෙන
ගොරෝසුම මිනිහෙක් වාගේම ඉන්නවද
සැඩපරුෂ වෙස්මූණ මූණ වහගත්තාම
ජීවිතේ ලේසියිද මහබීර්
සඳ එළිය ඇති රෑක බිළිඳු කවි සිහිවෙලා
අම්මාගේ ඇකයේ ගුළි වෙන්න හිතෙනවද
ඇති වෙන්න අඬලා උණුහුමේ නිදියන්න
එහෙම්මම ජීවිතේ හුස්ම පොද හැරයන්න
හීනයක් තියෙනවද මහබීර්
සුව නොවූ සීරුම් දෑතක් පුරෝගෙන
වැටෙන්නට ආසන්න කඳුළක් අටෝගෙන
එක පුංචි කොළුවෙක් දවසකට සැරයක්
දෑස් දෙක ඉදිරියේ මැවෙනවද; නොපෙනිලා
හැංගෙන්න හිතෙනවද මහබීර්
මිනිස් ජීවිත තුනක් උදුරගත් වැරැද්දට
තුන්වරක් හදවතින් මියගියා මදිවටද
මැදියමේ ගැස්සිලා ඇහැරෙන්නෙ
පොඩිම පොඩි සද්දෙටත් බය වෙන්නෙ
තමන්ටම දඬුවම් දීගන්නෙ...
ඉතාමත් විරල වූ ලස්සනම හිනාවක
නොකියාම ඉන්නට පුරුදු වූ කතාවක
නොසැඟවූ ප්‍රේමයක් තියෙනවද?
එකම එක දවසකට ඈත උස කඳු බිමක
පොඩි පැලක තනිවෙමුද මහබීර්
ජීවිතේ වේදනා ඒ දවසෙ අතහරිමු
ආදරේ විතරක් ඉතිරි වෙන්නට අරිමු
එකම එක වතාවක් වැළඳගෙන නිදිවදිමු
ජීවිතේ, ප්‍රේමයේ, නිදහසේ පෙම් පුවත
ඒ දවස මතු නේද,
පෙම්වතා නුඹ නේද මහබීර්