ඉතා පැහැබර දවස්වල රෑට ඈත දිදුලන තාරකා දැකිය හැක
බොහෝ ඉපැරණි කවි පොතක පඬු පැහැ ගැණුනු පිටු තුළත් නුඹ සිටිය හැක
රෝසමල් සිතුවමක මලක එක් පෙත්තක කොළ පැහැය තැවරුණේ වැරදීමකින් විය හැක
දිග සුදු සේද ගවුමක කටු කොහොල් ඇමිණුනේ ලස්සනම මතකයන් ඉතිරි කර විය හැක
ඇස් ඉමේ නුඹ නොමැති නුවරක පැයක් ගානේ දුක් ඇහින්දා සිනාසෙන්නට නැති වරම් හැමදාම සිහිවී හිතම බින්දා වැට පනින්නට අර අදින දුක් ජල කඳට උස වේලි බන්දා මොකුත් නොකියා හිටිය අම්මේ අම්මාට දුක හිතෙයි හන්දා
තෙතැති උණුසුම් උදෑසනවල නුඹ පැමිණියේ යැයි හැඟී නිදිබර දෑස් තිගැස්සෙයි
පෙර මෙන් වළාකුළුවල ඝනදුරක් නොමැති මුදු බරැති වෙහෙසකර බවක් දිස්වෙයි
ඉතා හිස් බව දැනෙන මගේ හදවත පවා එසේ බර බැව් පසක් වෙයි
නුඹ නිසා බව මතක් වෙයි...
නුඹ හිස් අවකාශය හා මා එහි සැරිසරන අංශුවකි. කොතරම් දුර ගියත් මට හිස් බව පමණි. මා කෙතරම් ක්ෂුද්‍රද යත් ඔබට මා නොදැනේ...