2023/05/22

 ඉසිහින් පොද වැටෙන හවසක

නුගේගොඩ සරසවිය සිහිවන 


ඩාර්ක් චොක්ලට් යුවතිය

එකෙනෙහිම දෑස්මත මතුවන 


කොලෝන් සුවඳැති කොටු කමිස

කෝපිහල්වල නිතර ගැවසෙන 


හුරුබුහුටි පතොක් පැල,

ස්නේක් ප්ලාන්ට් ගෙදර ගෙනයන 


ඔරිගමි කුරුල්ලන් එල්ලෙන

තද රතු රෝස මල් කලාතුරකින් හමුවන 


මෝඛා පැහැති යුවතිය

මඟතොටේ හමුවන පොඩිත්තන් සනසන 


පා සළඹ නාදය පැතිරෙන

වැලි පිරුණු පසුම්බියෙ සිප්පි කටු හමුවෙන 


අඟලක් දිගට පොල්කටු,

ලී පබළු කරාඹු පලදින 


දූවිලි පාට යුවතිය

දූවිලි පොළවට වැටුණ වැස්සක සුවඳ ගෙන එන 


දොස්තොවුස්කි කියවන 

ළදරු හඬකින් බැරෑරුම් සංවාද ඇතිවෙන 


මැදියම් රැයක මැඩෝනා ගී ගයන 

වයින් පුසුඹක් බැල්කනිය පිසලන 


කහපාට එළියක් යන්තමට දැල්වෙන

සන්සුන් සිහින් සෙවනැල්ල කවුළුවේ රඟදෙන 


රතු වයින් යුවතිය

දෘඩ චීස් සහ ඇපල් සමඟින් පෑහෙන 


කෙහෙරොදක් වැටුනම

අහිංසක මුහුණක දඟ පාට ගෑවෙන 


හිතුවක්කාර යුවතිය

මුරණ්ඩු නාසය ඉර දෙසට හැරවෙන 


හුදකලා වෘතයේ එල්බෙන

හීන කම්හල් කඩින් කඩ ඉදිවන 


තාරකා යුවතිය

අළුයම් අහසින් තරු රැගෙන සීලිමේ අලවන 


තනි ඉරෙන් දෙතොලත පාට තවරන

ඉන්ඩිපෙන්ඩන්ස් වෝක්හි හවසට තනිව ඇවිදින 


වතුරට දෙහි අඩක් මිරිකන

'කිමද නාවේ' හෙමිහිට තනිව මුමුණන 


කළු කෝපි යුවතිය

ග්‍රීක මිත්‍යා මාබල් පිළිම ප්‍රියවෙන 


හවසට කළු කෝපි හිස්වෙන

ජර්නල් පිටු අතර කවි වදන් පිරවෙන 


මඟින් මඟ කැලෑමල් පළඳින යුවතිය

ඉඳහිටක ඈ ගැනම කවි පෙලක් පබඳින

2023/05/05

 ඔබ මෙහි සිටින දිනවල,


කවදත් වැක්කෙරෙන කෝපිම ඉතා සැලකිල්ලෙන් සෑදෙයි.
සඳැල්ලට නැමී ඇති බෝගන්විලා මත හිරු එළිය වෛවර්ණ පෑ වෙයි.
පිඟන් එකිනෙක ගැටෙන හඩ සමඟ මිමිණෙන ගීතයක් හාවෙයි.
හදවතේ සිරවූ දොර කවුළු පෑදී ආදර සංධ්වනි වෑහෙයි

හෙටත් ජීවත් වෙන්න තරමට හේතු අරගෙන, රෑ වෙයි...

 වැසි වැටී තුරුපත් අඟින් දිය වෑස්සෙයි

හිත් පුරා පැන නටනු වෙනුවට

සුදුපාට කොළයක බලි කුරුටු ඇද ඇද

මොකක් කරන්නෙද මටම සිත්වෙයි

හෙට නික්ම යන්නට නියමිත ජීවිතය

ඇඟිලි කරු අස්සෙන් හිස්වෙයි






කවුළුවෙන් එපිට වැස්සත්

මෙපිට ඇති හදවත්ද තෙත්වෙයි

 දුර ඈත සමයක සවස් යම

ජීවිතේ හමුවූ පළමු හා එකම දින

දන්නා හඳුනන සිනාවක් තිළිණ කල

නන්නාඳුනන යුවතිය පිළිබඳ... 


එළිමහන් පුටුවක හිඳිමින්

දුම් පයිප්පයක් උරමින්

නිවී සැනසිල්ලේ සිහියට නඟන

වියපත් මිනිසෙකුට හිතෙන්නේ කොහොමද... 


ඉතාමත් විඩාබර දිනයක වෙහෙසව

හුදකලා නවාතැන පැයක් වතුරට දියකර

සියක් දහසක් වැඩ ඔහේ අලසව අතහැර

උණුසුම් කෝපි බිඳෙන් බිඳ බොන මොහොතක 


ඔබ ගැන හිතමින් සිටින මට 

දැනෙන්නේ අන්න එහෙමය...!

2022/07/30

මහබීර්

ළදරු පිණිකඩක් බඳු කදාමිණි හද මඬල
ගොරෝසුම රෙදි කඩක තද වෙන්න ඔතාගෙන
ගොරෝසුම මිනිහෙක් වාගේම ඉන්නවද
සැඩපරුෂ වෙස්මූණ මූණ වහගත්තාම
ජීවිතේ ලේසියිද මහබීර්

සඳ එළිය ඇති රෑක බිළිඳු කවි සිහිවෙලා
අම්මාගේ ඇකයේ ගුළි වෙන්න හිතෙනවද
ඇති වෙන්න අඬලා උණුහුමේ නිදියන්න
එහෙම්මම ජීවිතේ හුස්ම පොද හැරයන්න
හීනයක් තියෙනවද මහබීර්

සුව නොවූ සීරුම් දෑතක් පුරෝගෙන
වැටෙන්නට ආසන්න කඳුළක් අටෝගෙන
එක පුංචි කොළුවෙක් දවසකට සැරයක්
දෑස් දෙක ඉදිරියේ මැවෙනවද; නොපෙනිලා
හැංගෙන්න හිතෙනවද මහබීර්

මිනිස් ජීවිත තුනක් උදුරගත් වැරැද්දට
තුන්වරක් හදවතින් මියගියා මදිවටද
මැදියමේ ගැස්සිලා ඇහැරෙන්නෙ
පොඩිම පොඩි සද්දෙටත් බය වෙන්නෙ
තමන්ටම දඬුවම් දීගන්නෙ...


ඉතාමත් විරල වූ ලස්සනම හිනාවක
නොකියාම ඉන්නට පුරුදු වූ කතාවක
නොසැඟවූ ප්‍රේමයක් තියෙනවද?

එකම එක දවසකට ඈත උස කඳු බිමක
පොඩි පැලක තනිවෙමුද මහබීර්

ජීවිතේ වේදනා ඒ දවසෙ අතහරිමු
ආදරේ විතරක් ඉතිරි වෙන්නට අරිමු
එකම එක වතාවක් වැළඳගෙන නිදිවදිමු
ජීවිතේ, ප්‍රේමයේ, නිදහසේ පෙම් පුවත
ඒ දවස මතු නේද,
පෙම්වතා නුඹ නේද මහබීර්



2019/09/12

ආදරෙන් පාටකල ලස්සනම හීනවල
බැඳෙනකොට දූවිලි, පාසි
හූල්ලන කෝච්චියෙ ගෙදර යනවට වඩා
කොළඹ මැද තනි වෙන්න ලේසි

නුඹ කියන්නේ ගැන ඉතා දරුණු තරු අනතුරු
පොඩිපට්ටම් මූණු, පැළුණු තොල්වල විසිතුරු
අතින්ම පදම් කර සෑදූ ශෝකයක වෙව්ලන පිළිතුරු
දම් පැහැ තැළුම්, වියළි ලේ, කඳුළු හා සුමිතුරු


ඉන්පසුව එළැඹියේ,
අමුතු හීන පේන, අමුතු දවස්

දරාගන්නට අපහසු
උදේට වහින, ඉර පායන හවස්

පාර දෙපැත්තෙ හංගාපු
සුළඟටවත් සැලෙන්නැති රහස්

තෙමුණු තෙත සපත්තු
ගිම්හාන ඍතුවකට දුරස්

බෝම ඈතින් ඇසට පෙනුනත් කනට නොඇසෙන ගීත පාවෙයි
පාට රැව්දෙන කළුවරේ අමු තිත්ත සුවඳක මතක යාවෙයි
දෝංකාරය නොනැවතී හැමදාම වගෙ හෙට උදෙත් රෑ වෙයි
නම නොදන්නා තාරකාවක සීත රසයක කඳුළු ගෑවෙයි

පෙම්වතුන් ඉඳහිට
හඬ හඬා කියන දුක සයුරට
එකතු කොට රළකට
සයුර එළවත් නිහඬ වෙරළට

ඒ වෙරල ඉවුරට
හොඳින් ලංවී බැලු විට
දුක් කඳුළු පය වට
බිඳි බිඳී යන පෙන කැට


අනන්තාවකාශයේ පිණිබිඳ!
මහ පොළව සිපගන්න පෙර,
රික්ත හදවත පිරී යනු වස්
ඇස් වලින් නුඹ උරාගමි, බිඳෙන් බිඳ

දූවිලි බැදුණ පොත්පත්
නිම නොකල සායම් කැන්වස්
මේසය මතද, බිමද,
හිස් බීර බඳුන් ය...

ශෝකයෙන්මම රතු වුණු
උකුසු, කොටි බැල්මක් රැඳවුණු
හැඟීමක් නොලියවුණු
කඳුලු නැති වියලි දෑස් ය...

පැහැය වියැකී බොඳවුණ
සායම් කළු පාට තැවරුණ
නොසේදූ කමිසයක නැගෙන
දහඩිය පුසුඹක් ය...

හිල්වුණු දොර කවුළු තිර ළඟ
තවමත් දැල්වෙන ෆිල්ටර ය
හදවතෙන් පැන උගුර මැද සිරවුණ
කිසිදා පිටනොකල ඉකියක් ය...

ඒක නිල් පාට හීනයක්. කළුපාට හෙවනැලි වැටුණු, තද නිල් පාට හීනයක්. ඒ හීනේ රිදී පාට ඇබින්දන් තරු කැට දාස් ගානක් තිබුණා. ඒවා තිබුණේ අපිට උඩින් නෙමෙයි. අපි වටේටම. හුඟක් ඈතිනුත් නෙමෙයි. අපි ළඟම. අපි වැතිරිලා හිටිය තණකොළ උඩ, ගස් අස්සේ, හුළඟත් එක්ක පවා තරු හෙමීට පාවෙලා ගියා. අහස, පොළව, අවකාශෙ, හැමතැනම තරු. ඔයාට පේනවද?

මං ඔයාට කැමතියි. මේ සේරම, මට ඔයා එක්ක බෙදාගන්න ඕන උනේ ඒකයි. මේ හීනේ පවා... ඔයාට හැමදේම කියන්න ඕනෙ. හැමදේම! මං හිතන දේ, මට හිතෙන දේ, මේ හීනෙ ඇතුළේ වුණ හැමදෙයක්ම, මට ඔයාට කියන්න ඕනේ. ඒව දන්නෙ මම විතරයි. මමම විතරයි. මම ඔයාට කියන්නම්. එතකොට ඔයත් ඒව දන්නවා. ඔයා අහගෙන ඉන්නවා නේද?

මට විශ්වාසයි. ඒ හැමදේම දැනගත්තාම, ඔයා මට ආදරේ වේවි. නැහැ. ඔයාට එහෙම නොවී ඉන්න බැරි වේවි. ඒවා ඒ තරම්ම අවංක, පිරිසිදු දේවල්. හරියට කඳුළු බිංඳු වගේ. ඉතිං ඒක වැස්සක්. කඳුළු වැස්සක්. මං හුඟාක් කාලයක් තිස්සේ එකතු කරපු කදුළු. අහන් ඉන්න. වැස්සේ සද්දේ.

වැස්ස කඩන් වැටුණා. මං ඒ වැස්සේ හොඳටෝම තෙමුණා. ඔයාව තෙමන්න කඳුළු වලට බෑ. ඔයාට පුළුවන් වැස්සේ හඬට කන්දීගෙන ඉන්න විතරමයි. ඒත් ඔයා මට ආදරේ වේවි. මට විශ්වාසයි!

වැස්ස නතර වුණාම, ඔයා එකපාරටම නැගිට්ටා. "පිස්සු!" එහෙම කියලා ඔයා යන්න ගියා. ඒ නිල් පාට හීනේ ඇතුලේ, එකපාරටම මම තනි වුණා! මට සද්දයක් ඇහුණා. මං හිතුවේ ඔයා ආපහු ආවා කියලා. නැහැ. ඒක වීදුරු බිඳෙන සද්දයක්. මගේ නිල්පාට හීනෙ! ඒක වේගයෙන් ඉරි තැලුණා. තරු ඔක්කොම නිවිලා යන්න පටන්ගත්තා. "සලාං" හීනේ කඩාගෙන වැටුණා. මට කෑල්ලක්වත් අල්ලගන්න බැරි වුණා. කඩා වැටුණු හීන කෑලිවලට මාව හොඳටම හීරුණා. ලේ ගලන්න ගත්‍තා. දැන් සේරම රතු පාටයි... නිල් පාට බිංදුවක්වත් නෑ.

මට පේනවා ඈතින් මොකක්දෝ දෙයක් තියෙනවා. ඒක ගොළුබෙලි කට්ටක්. ඒක එතනට ආවේ කොහොමද කියන්න, මං දන්නේ නෑ. මං ඒක දිහාට ඇවිදගෙන ගියා. හිස් ගොළුබෙලි කට්ට හුළඟට එහා මෙහා පෙරළුණා. යාන්තමට.

මං ගොළුබෙලි කට්ට ඇතුළට ගියා. ඒකෙ සිනිඳු සුදු මතුපිට උඩට ලේ බිංදු වැටිලා එළියට ගලාගෙන ගියා. මගේම පියවර සද්දේ, මගේම හුස්ම දෝංකාර දෙන ගොළුබෙලි කට්ටේ, ඇතුල් කෙලවර වෙනකල්ම මම ඇවිදගෙන ගියා...

2019/06/11

කුණාටුව පහවී ලැබෙන තුරු පියාඹන වාරය
ඇඟිලි තුඩකින් හෙමින් තට්ටු කර ලෑල්ලට තාලය
මිමිණූ ගීතයට කැටිකල ඔක්කෝම සෙනෙහසේ සාරය
මගේ හිස නුඹේ පපුවට, තදකරන් උන් කාලය...


2019/06/05

පිණි පිණි වැටුණු හැන්දෑවරු ගිනිගත්තා
යළි යළි නැගෙන රළ පතුළට ඇදගත්තා
තනි තනි බැලුම්ගල්වල අපි හිටගත්‍තා
පෙනි පෙනි ඇස් දෙකට මුහුදක් බිලිගත්තා

2019/05/20

අතිශයින් අහඹු වූ
අවශේෂ අකුණු සර
වැදීමෙන් හදවත
හැකිලෙමින් ඇඹරේ...

ඉතාමත් සීතලැති
ඉතිහාසයේ බිඳිති
ලේ නහර ඇටමිදුළු
වෙව්ලවා විසිරේ...

පල්ලියේ උළු හැළුණු තැනකින්
අපි බලා හිටියා වරුවක්
හිනැහෙමින් නිවි නිවී දිලිහෙන
දැං අම්මා අහසේ තරුවක්

2019/04/19

හිත බොහෝ රිදවයි

වැසිබර අඳුරු හවසක

සිහිවන මතක 

ලෙන්ගතු පැරණි ඇසුරක

නෙත් කෙවෙනි රිදවන

කඳුළු සුසුමන් අතරක

නුඹ මා අතැර ගිය

නන්නාඳුනන නුවරක...

2019/02/23

ඉතා පැහැබර දවස්වල රෑට
ඈත දිදුලන තාරකා දැකිය හැක

බොහෝ ඉපැරණි කවි පොතක
පඬු පැහැ ගැණුනු පිටු තුළත් නුඹ සිටිය හැක

රෝසමල් සිතුවමක මලක එක් පෙත්තක
කොළ පැහැය තැවරුණේ වැරදීමකින් විය හැක

දිග සුදු සේද ගවුමක
කටු කොහොල් ඇමිණුනේ ලස්සනම මතකයන් ඉතිරි කර විය හැක

ඇස් ඉමේ නුඹ නොමැති නුවරක පැයක් ගානේ දුක් ඇහින්දා
සිනාසෙන්නට නැති වරම් හැමදාම සිහිවී හිතම බින්දා
වැට පනින්නට අර අදින දුක් ජල කඳට උස වේලි බන්දා
මොකුත් නොකියා හිටිය අම්මේ අම්මාට දුක හිතෙයි හන්දා